මහ බැංකුව විදේශ මුදල් හුවමාරු ආයතන 15කගේ බලපත්‍රය අලුත් කිරීම අත්හිටුවයි

මෙරට විදේශ මුදල් හුවමාරු කරන ආයතන 15ක් සඳහා ලබා දී තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය 2023 වසර සඳහා අලුත් නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය තීරණය කර ඇතැයි පවසයි.

2022 වසර සඳහා නිකුත් කරන ලද මුදල් හුවමාරු බලපත්‍රවල කොන්දේසියක් සඳහා අදාළ ආයතන අනුකූල නොවීම මේ සඳහා හේතුව වී තිබේ.

ඒ අනුව නුවඑරඵළියේ අනුර ෆොරෙක්ස් (පුද්) සමාගම, මීගමුවේ බ්‍රෙෂියා ග්‍රාමීන් (පුද්) සමාගම, කොළඹ 03 ජෙයා ෆොරෙක්ස් එක්ස්චේන්ජ් සමාගම, කොළඹ 01 කමල් එන්ටර්ප්‍රයිසස් සමාගම, මහවැව කුඩාමඩු මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම, වෙන්නප්පුව මීඩ්නා මිනි මාර්කට් (පුද්) සමාගම, හොරණ නිව් ලංකා හෝල්ඩ් හවුස් (පුද්) සමාගම, කොළඹ 01 රෆීක්ස් ජෙම්ස් (පුද්) සමාගම, පුත්තලම රිම්හා ජුවලර්ස් (පුද්) සමාගම, කොළඹ 02 සලාකා ට්‍රස්ට් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම, යාපනය ශාරංගා මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම, කල්මුණේ සෝර්නම් ෆොරෙක්ස් (පුද්) සමාගම, හලාවත තමාෂා ෆොරෙක්ස් (පුද්) සමාගම, කොළඹ 06 යුනිවර්සල් මනි චේන්ජර්ස් (පුද්) සමාගම සහ  මහනුවර වසන්තාස් ඉන්ටර්නැෂනල් මනි එක්ස්චේන්ජ් (පුද්) සමාගම යන ආයතන 15 වෙත මෙම පියවර ගෙන තිබේ.

මෙහිදී මහ බැංකුවෙහි අදාළ තීරණය සම්බන්ධයෙන් අදාළ ආයතන වෙත මේ වසරේ පෙබරවාරි 22 වැනිදා දැනුම් දීමක්ද සිදුකළ බව පවසයි.

ඒ අනුව ඉහත ආයතන සඳහා තවදුරටත් මුදල් හුවමාරු කිරීමේ අවසරය නොමැති බවත්, එම ආයතන සමග විදේශ මුදල් මිලදී ගැනීම්, විකිණීම සහ හුවමාරු කිරීම 2017 අංක 12 දරණ විදේශ විනිමය පනතේ විධිවිධාන උල්ලංඝණය කිරීමක් ලෙස සලකන බවත් මහ බැංකුව දැනුම් දෙයි.

Views: 110