බ්‍රවුන්ස් සමූහය රු. බි. 15.3ක ආයෝජනයකින් රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තශාලාවක් ඇරඹීමට යයි

මෙරට මුල් පෙළේ සමාගම් සමූහයක් වන බ්‍රවුන්ස් සමූහය (බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී) රුපියල් බිලියන 15.3ක ආයෝජනයක් හරහා කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ නවතම මාදිලියේ දැවැන්ත රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට සූදානමින් සිටින බව පවසයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීම සැලසුම වී තිබේ. ඒ සඳහා වන එකඟතාව පසුගියදා බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ටී. සාන්කෙන් මහතා සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා වීරකෝන් මහත්මිය අතර අත්සන් තබා තිබේ.

මෙරට තුළ අපනයනය සඳහා සිදු කරන ඇගලුම් නිෂ්පාදන කර්මාන්තයේදී අත්‍යවශ්‍ය රෙදිපිළි ආනයනය සඳහා වැය කරන විදේශ විනිමය ආරක්ෂා කරගනිමින්, එම රෙදිපිළි මෙරටදීම නිෂ්පාදනය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වී තිබේ.

මෙහිදී එම ව්‍යාපෘතිය සඳහා රෙදිපිළි නිෂ්පාදන කර්මාන්තයේ පුළුල් දැනුමක් සහිත දෙපළක් වන ප්‍රිතිව් දොරෙයි සහ කෙනත් විජේසූරිය යන මහත්වරුන්ගේ විශේෂඥතාවද ලබා ගැනීම සැලසුම වී ඇත.

ඇගලුම් සහ රෙදිපිළි කර්මාන්තය වර්තමානයේදී ශ්‍රී ලංකාවේ ප්‍රධානතම විදේශ විනිමය උපයන්නා ලෙස හැඳින්වෙන අතර, එහි වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 5කි. කෙසේ වෙතත් මෙම කර්මාන්තය සඳහා සෑම වසරකදීම ඩොලර් බිලියන 3ක් පමණ වටිනා අමුද්‍රව්‍ය ආනයනය කිරිම සිදු කරයි.

බ්‍රවුන් සහ සමාගම සඳහන් කරන ආකාරයට මෙම ව්‍යාපෘතිය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහකණදුර ප්‍රදේශය ආශ්‍රිතව පිහිටුවන බව සඳහන් වෙයි. මේ හරහා එම දිස්ත්‍රික්කයේ 800කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා බිහි වන බවත් පැවසෙයි.

මෙහිදී විශේෂයෙන්ම එම කර්මාන්තශාලාව වඩාත් පරිසර හිතකාමී සංකල්පයක් යටතේ පිහිටුවීම අරමුණ වී ඇති අතර, ඒ සඳහා වඩාත් නවීනතම තාක්ෂණයෙන් යුත් යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම සැලසුම වී තිබේ.

Views: 588