ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යහුගත කිරීමේ හැකියාව ගැන ජනපති චීන විදේශ ඇමතිගෙන් විමසයි

චීනය සහ ශ්‍රී ලංකාව අතර 65 වසරක රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් මහජන චීන සමූහාණ්ඩුවේ විදේශ අමාත්‍ය හා රාජ්‍ය උපදේශක මණ්ඩලයේ සාමාජික වැන්ග් යී (Wang Yi) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

චීන විදේශ අමාත්‍යවරයාගේ පැමිණීම ගෞරවයෙන් පිළිගත් ජනාධිපතිතුමා දෙරට අතර ඓතිහාසික සමීප සබඳතා සිහිපත් කරනු ලැබීය. කොවිඩ් වසංගතයට මුහුණ දීමේදී චීනයෙන් ලැබුණු ද්‍රව්‍යමය හා මූල්‍ය ආධාර වෙනුවෙන් ජනාධිපතිතුමා ශ්‍රී ලංකා රජයේත්, ජනතාවගේත් ස්තුතිය විදේශ අමාත්‍යවරයා වෙත පිරිනැමූ බව ජනාධිපති කාර්යාලය පවසයි.

දෙරට අතර මිතුදම ආවර්ජනය කළ වැන්ග් යී මහතා නැවත වතාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට හැකි වීම පිළිබඳ තමා සතුටට පත් වන අතර සමීප මිත්‍රයෙකු ලෙස චීනයේ සහාය සෑමවිට ම ලබා දෙන බව පවසා තිබේ.

කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ සාර්ථකව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සයිනොෆාම් එන්නත් ලබා දෙමින් දැක්වූ සහයෝගය වෙනුවෙන් ද ජනාධිපතිතුමා චීන රජයට තම කෘතවේදීත්වය පළ කර ඇත.

නව සාමාන්‍යකරණය යටතේ සංචාරකයන් සඳහා ශ්‍රී ලංකාව විවෘත කර තිබේ. ජෛව බුබුළක් තුළ රඳවා ගනිමින් චීන සංචාරකයන් මෙරටට ගෙන්වා ගැනීමට සහාය වන ලෙසද ජනාධිපතිතුමා වැන්ග් යී මහතාගෙන් ඉල්ලා තිබේ.

කොවිඩ් වසංගතය හමුවේ පැන නැඟී ඇති ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස ණය ආපසු ගෙවීම ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් එය මෙරටට විශාල සහනයක් වනු ඇතැයි ජනාධිපතිතුමා විසින් පෙන්වා දී ඇත.

එමෙන් ම චීනයෙන් සිදු කරන ආනයනවලදී සහනදායී වෙළෙඳ ණය ක්‍රමයක් ලබා ගැනීමට හැකි වෙතොත් බාධාවකින් තොරව කර්මාන්ත පවත්වාගෙන යාමට එය ඉවහල් වනු ඇතැයි ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

චීනයට පැමිණෙන ලෙස ජනාධිපතිතුමාට ආරාධනා කළ වැන්ග් යී මහතා එය ඉතා නුදුරු දිනකදී ම සිදු වනු ඇතැයි විශ්වාසය පළ කළ බවත් ජනාධිපති කාර්යාලය පවසයි.

චීන තානාපති ෂී ෂෙන්හෝං (QI Zhenhong), නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය චෙන් කොමින් (QIAN Keming), සහකාර විදේශ අමාත්‍ය වූ චෙංහොන් (WU Jianghao), චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගීතා ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චොන්ග් මෝඕයු (HZHANG Maoyu), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක් ව සිට ඇත.

Views: 173