ආචාර්ය කෙනත් ඩි සිල්වා ලංකා ක්ලියර් සභාපති ධුරයට

ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීමේ සහ පියවීමේ ‍ජාලය වන ලංකාක්ලියර්හි (LankaClear) නව සභාපතිවරයා ලෙස මෙරට මුල් පෙළේ ආර්ථික විද්‍යාඥයෙකු සහ ජ්‍යෙෂ්‍ට බැංකුකරුවෙකු වන කෙනත් ඩි සිල්වා මහතා පත් කර ඇතැයි පවසයි. පසුගිය ජූනි 01 වැනිදා සිට මෙම නව පත් කිරීම සිදුව තිබේ.

මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී. ලක්ෂ්මන් මහතා විසින් වසර තුනක් සඳහා මෙම නව පත් කිරීම සිදු ඇතැයි සඳහන් වෙයි. මෙතෙක් කලක් එහි සභාපති ධුරය දැරූ අනිල් අමරසේකර මහතා වසර තුනක බැගින් ධුර කාල දෙකක් කටයුතු කිරීමෙන් අනතුරුව කෙනත් ඩි සිල්වා මහතා මෙලෙස පත්වීම් ලබා තිබේ.

2002 වසරේදී පිහිටවුණු මෙම ලංකාක්ලියර් ජාතික ගෙවීමේ සහ පියවීමේ ජාලය ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මගපෙන්වීමෙන් යුක්තව මෙරට ක්‍රියාත්මක පෞද්ගලික වාණිජ බැංකුවල එකමුතුවෙන් ක්‍රියාත්මක වන්නකි. අද වනවිට මෙම ආයතනය ආසියානු කලාපය තුළ වඩාත් සාර්ථක රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ක්‍රියාත්මක වන්නක් ලෙසද හඳුනාගෙන තිබේ.

දේශීයව බැංකු අතර ගෙවීම් සහ පියවීම් සඳහා මෙන්ම ජනතාව අතර මුදල් භාවිතයෙන් තොර ඩිජිටල් ගෙවීමේ වේදිකාවන් ගොඩනැගීම සඳහා වන ක්‍රියාකාරකම්හි මෙම ආයතනය නිරත වෙයි. ඒ හරහා ජනතාව මූල්‍ය අන්තර්ග්‍රහණය සඳහා යොමු කරවීම අරමුණ වී තිබේ.

සිටිබෑන්ක්හි ආසියා පැසිපික් කලාපීය ශාඛාවේ මෙන්ම HSBC බැංකුවේද රාජකාරි කරමින් වසර 20 කට අධික කාලයක් පුරා බැංකු සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව අත්දැකීම් සපිරි අයෙකු ලෙසද කෙනත් ඩි සිල්වා මහතා සැලකෙයි.

කොළඹ විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් සහ ගෞරව උපාධියක් හිමි කරගෙන ඇති ඒ මහතා එම විශ්වවිද්‍යාලයෙන්ම සංවර්ධන ආර්ථිකවිද්‍යාව පිළිබඳව පශ්චාත් ඩිප්ලෝමාවක්ද හදාරා තිබේ.

එසේම නෙදර්ලන්තයේ රොටෙඩම්හි ISS Erasmus විශ්වවිද්‍යාලයෙන් සංවර්ධනය සඳහා වන ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක්ද හිමි කරගෙන ඇත.

ඊට අමතරව ඒ මහතා විසින් ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ ආයතනය තුළින් බැංකු කළමනාකරණය සහ මූල්‍ය පිළිබඳව පශ්චාත් ඩිප්ලෝමා පාඨමාලාවක්ද හදාරා තිබේ.

Views: 72