‘කප්රුකේ’ දුලිත්ගෙන් අලුත් වැඩක්

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේ නිරත මෙරට සුප්‍රසිද්ධ වෙබ් අඩවියක් වන kapruka.lk හි නිර්මාතෘවරයා වන දුලිත් හේරත් මහතා සහ ශ්‍රී ලංකා සිල්ලර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ හිටපු සභාපතිවරයෙකු වන සිදත් කොඩිකාර මහතා එක්ව superbox.lk නමින් අන්තර්ජාල සුපිරි වෙළෙඳ සැලක් ආරම්භ කර ඇතැයි පවසයි.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට පරිපූර්ණ හා සියලු සේවා එකම ස්ථානයකින් ලබා දෙන ඔන්ලයින් සුපිරි වෙළෙඳ සැලක් ලෙස මෙය හඳුන්වා දී තිබේ. මේ හරහා වඩාත් ඉක්මණින් හා පහසුවෙන් පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ගෙනගොස් භාරදීම අපේක්ෂා කරන බව එහි නිර්මාතෘවරුන් පවසයි.

මෙහිදී වියළි ආහාර ද්‍රව්‍යවල සිට නැවුම් ආහාර, ශීත කළ හා අධිශීත කළ ආහාර ද්‍රව්‍ය ඇතුළු පුළුල් පරාසයක පැතිරුණු භාණ්ඩ වර්ග රාශියක් මෙම superbox.lk හරහා මිලදී ගැනීමට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව සලසා දී තිබේ.

මෙම නවතම අන්තර්ජාල භාණ්ඩ අලෙවි වෙබ් අඩවියේ නිර්මාතෘවරුන් දෙදෙනාම සිල්ලර සහ අන්තර්ජාල වාණිජ්‍ය පිළිබඳව වසර 20කට අධික කාලයක අත්දැකීම් සපිරි දෙදෙනකි. ඒ අතරින් සිදත් කොඩිකාර මහතා මීට පෙර මෙරට ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳ සැල් ජාලයක ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටින දුලිත් හේරත් මහතා, “superbox කියන්නේ අපි ඉතාමත් සීරුවෙන් සැලසුම් කළ දෙයක්. ඒ වගේම ඉතාමත් හොඳ පර්යේණයක් සිදු කරමින් ශ්‍රී ලංකාව පුරාම වෙසෙන ජනතාවට ගැලපෙන වඩාත් හොඳ අන්තර්ජාල සුපිරි වෙළෙඳසැලක් නිර්මාණය කිරීමට අපි කටයුතු කරනවා. විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වය නිසා වෙනස් වී තිබෙන පාරිභෝගික හැසිරීම් සහ ඉහළ ගොස් තිබෙන ඉලෙක්ට්‍රොනික වානිජය වෙත අපි යොමුව තිබෙනවා.” යනුවෙන් පවසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සිදත් කොඩිකාර මහතා, “මේ Superbox බිහිවීමේ මූලිකම අවස්ථාව වෙන්නේ වඩාත් පරිසර හිතකාමී ව්‍යාපාරයක් හඳුන්වා දීමයි. විශේෂයෙන්ම පරිසර හිතකාමී නැඹුරුවීම් හරහා වඩාත් තිරසාර ව්‍යාපාරයක් සිදු කිරීමට හැකි වේවි. උදාහරණයක් විදියට ඇසුරුම්කරණය සඳහා ජෛවහායනයට ලක්වන කෙසෙල් ගසේ කෙන්දෙන් සකස් කර ඇසුරුම් යනාදිය යොදා ගන්න පුළුවන්. ඊට අමතරව මෙවැනි අභියෝගාත්මක කාලයකදී දේශීය කර්මාන්ත වෙත සහයෝගයක් දැක්වීමටත් අපි බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පවසයි.

Views: 185