ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් CSE හි Empower පුවරුවේ ලැයිස්තු ගතවීම අද

මෙරට ක්‍රියාත්මක තෙවැනි පාර්ශ්වයේ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් (3PL) වන ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි Empower පුවරුවෙහි ලැයිස්තුගතවීම අද (මැයි 18) දිනයේදී සිදු වීමට නියමිතව තිබේ.

මෙහිදී ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් සමාගම මගින් සිය සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 30ක් (30,000,000ක්) එම පුවරුවෙහි ‘කර්මාන්ත’ අංශය තුළ ලැයිස්තුගත කිරීමට සූදානමින් සිටියි.

කොළඹ කොටස් හුවමාරුව මගින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SME) සඳහා වෙන් කර තිබෙන Empower පුවරුවෙහි ලැයිස්තුගත වන පළමු සමාගම වන්නේද ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් සමාගමයි.

පසුගිය අප්‍රේල් 27 වැනිදා ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් සමාගම මගින් සිදුකරන ලද සාර්ථක මූලික මහජන කොටස් නිකුතුවෙන් (IPO) අනතුරුව එම සමාගම මෙලෙස ලැයිස්තුගතවීම සිදු වෙයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව සඳහා පළමු දිනයේදීම අධිඉල්ලුමක් හිමි වූ අතර, ඒ හරහා සමාගම වෙත රුපියල් මිලියන 56.25ක මුදලක් රැස් කරගැනීමට හැකි විය.

මෙම ලැයිස්තුගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වන කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා, “කොළඹ කොටස් හුවමාරුවේ Empower පුවරුවෙහි ලැයිස්තුගත වන පළමු සමාගම ලෙස අපි ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ් ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා. විශේෂයෙන්ම ප්‍රාග්ධන වෙළෙඳ පොළ සහ කොළඹ කොටස් හුවමාරුව සම්බන්ධයෙන් වර්ධනය වෙමින් පවතින විශ්වාසනීයත්වය මෙම ලැයිස්තුගතවීම හරහා පෙන්නුම් කරනවා. ඒ වගේම කොටස් හුවමාරුව හරහා සිය ප්‍රාග්ධනය වර්ධනය කරගැනීමේ ප්‍රතිලාභ අත්විදින ලෙස අපි ඉදිරියටත් මෙවැනි තවත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙත ආරාධනා කර සිටිනවා.” යනුවෙන් සඳහන් කර සිටියි.

Visits: 396