වත්මන් නීති සරල කිරීමට ජනපති පත් කළ කොමිෂමේ සම සභාපතිත්වය ජෝන් කීල්ස් සභාපතිට

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා  සාමාජිකයන් 18 දෙනෙකුගෙන් යුත් කොමිෂමක් පත් කිරිමට කටයුතු යොදා ඇතැයි ජනපති මාධ්‍ය අංශය පවසයි.

ඒ අනුව එම කොමිෂමේ සම සභාපතිවරුන් ලෙස හිටපු ජනාධිපති ලේකම් හා වත්මන් ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජෝන් කීල්ස් සමූහයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන් පත් කර තිබේ. කොමිෂමේ ලේකම් ධූරයට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතා පත් කර තිබේ.

මෙම කොමිෂමේ සෙසු සාමාජිකයන් වන්නේ,

  1. ඉඩම්කළමනාකරණ, රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් –  එස්.ඩි.ඒ.බී. බොරලැස්ස මහතා,
  2. විදුලි බල අංශයේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් – එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු මහතා,
  3. අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති – සුරේෂ් ද මෙල් මහතා,
  4. රාජ්‍ය මූල්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් – සී. වැලිගමගේ මහත්මිය
  5. රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ – ආයතන අධ්‍යක්ෂ ජනරාල් චන්දන කුමාරසිංහ මහතා,
  6. සමාගම් නීති විශේෂඥ ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා,
  7. ජනාධිපති නීතිඥ නිහාල් ජයවර්ධන මහතා,
  8. ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී තිෂාන් සුබසිංහ මහතා,
  9. සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී – 
    රංජිත් ගුණතිලක මහතා,
  10. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂිකා –  රේණුකා වීරකෝන් මහත්මිය
  11. මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆයිනෑන්ස්, පීඑල්සී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික -ජෙරාඩ් ඔන්ඩට්ච්චි මහතා,
  12. නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ, අධ්‍යක්ෂ (විධායක නොවන) – අර්ජුන් ප්‍රනාන්දු මහතා
  13. සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීමේ අංශය –  එස්.පී. ලියනාරච්චි මහතා,
  14. ම්ලෙස්නා තේ, කළමනාකරණ අධ්‍යක්ෂ – ඇන්සලම් පෙරේරා මහතා
  15. කර්මාන්ත මණ්ඩලයේ මහ ලේකම්/ ප්‍රධාන විධායක නිලධාරී –  නිශ්ශංක විජේරත්න මහතා
  16. තීම් රිසෝට්ස් ඇන්ඩ් ස්පාස් සභාපති, අධ්‍යක්ෂ ජනරාල්  – චන්ද්‍රා වික්‍රමසිංහ මහතා

කොමිෂමට පැවරී ඇති කාර්යභාරය :

  • ආයෝජන හා ඉදිකිරීම් ක්ෂේත්‍ර ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාලව දැනට නිකුත් කර ඇති චක්‍රලේක උපදෙස්, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් සම්බන්ධ සියළු නීති, රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහිද අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයට ලක් කිරීම,
  • විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණෙන් බැහැරවීමක් සිදු වී ඇත්දැයි අධ්‍යයනය කිරීම,
  • වඩාත් ඵලදායී නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුල උක්ත නීති රෙගුලාසි වල අදාළ බව සහ ශ්‍රී ලංකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම,
  • දැනට පවතින සංකීර්ණ හා අධිනියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත් ඒ සඳහා  අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ හා අවිධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම,
  • දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, නීති, රෙගුලාසි සරල කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම හා එසේ සරල කිරීමට හා නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීම,
  • ජාතික මට්ටමෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමෙන් විවිධ අනුමත කිරීම්, අවසර දීම් හා බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලි ද්වීකරණය සිදු වී තිබේදැයි අධ්‍යයනය කෙට එවැනි ක්‍රියාවලි සුදුසු පරිදි සංශෝධනය කිරීම,

මේ කාර්යයන් ඉටු කිරීම සඳහා කොමිෂමට දින 90ක කාලයක් ලබා දී ඇත. සිය කාර්ය භාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස්  දීමේ බලය කොමිෂම සතු වන බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Visits: 132