2021 පළමු අර්ධයේදී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී ලාභ 130%කින් ඉහළට

අබාන්ස් සමූහයට අයත් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම 2020 සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් වූ 2020/21 මූල්‍ය වසරේ පළමු අර්ධයේදී බදු පසු ලාභය ලෙස රුපියල් මිලියන 63.6ක් වාර්තා කිරීමට සමත්ව ඇතැයි  පවසයි. ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාව තුළදී අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී අත්කර ගත් බදු පසු ලාභය වූ රුපියල් මිලියන 27.7ට සාපේක්ෂව 130%ක වර්ධනයකි.

2021 පළමු අර්ධයේ කාර්යසාධනය පිළිබඳව කරුණු සඳහන් කරමින් අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී මෙම ලාභ වාර්තා කර තිබේ. මෙහිදී විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත සමයේදී සමාගම සිදු කළ තාක්ෂණය හා බැදුනු යථාවත්වීම් සහ ණය ලබා දීම් මෙන්ම සිය සමාගම තුළ පිරිවැය කළමනාකරණය සඳහා ගත් මුලපිරීම්ද මෙම කාර්ය සාධනය සඳහා හේතු වූ බව සමාගම පවසයි.

විශේෂයෙන්ම අද වනවිට අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම සතුව ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කර තිබෙන අවශ්‍යතාවන්ට ඉහළින් වූ අදානම් භරිත ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාතයක් පවතින බවත් එය සමාගමේ ස්ථායිතාව පිළිබිඹු කරවන්නක් බවත් සමාගම සඳහන් කරයි. එසේම ෆිච් වර්ගීකරණය අනුවද අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම ජාතික දිගුකාලීන වර්ගීකරණයේ BB+ (lka) මට්ටම හිමි කරගැනීමට සමත්ව සිටින බවත් පවසයි.

විශේෂයෙන්ම සිය මව් සමාගම මගින් ලබා දෙන දායකත්වය අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සීහි ස්ථායිතාවට හේතුවක් බවත් සමාගම සඳහන් කරයි.  එහිදී ශ්‍රී ලංකාවේ මුල් පෙළේ සමාගමක් ලෙස අබාන්ස් සමූහය සතු වාර්ෂික ආදායම අද වනවිට රුපියල් බිලියන 35 ඉක්මවා තිබේ.

1968 වසරේ සිට අබාන්ස් සමූහය ශ්‍රී ලංකාවේ සෑම මුල්ලක් වෙතම සිය ව්‍යාප්තිය සිදු කරමින් සිය බලපෑම වඩාත් වර්ධනය කරගැනීමට සමත්ව සිටියි. එහි ප්‍රතිඵල ලෙස මෑතකදී, ෆිච් වර්ගීකරණය යටතේ අබාන්ස් සමූහය ජාතික දිගු කාලීන වර්ගීකරණය යටතේ BBB+ (lka) මට්ටමට පත් කර ඇති බවත්, එය සමූහය විසින් වෙළෙඳ පොළ තුළ උපයා ගෙන ඇති ස්ථායිතාව සහ පෞරුෂය පෙන්වන බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මේ අතර අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම මගින් 2020 අප්‍රේල් මාසයේ සිට 2020 සැප්තැම්බර් 30 වැනිදා දක්වා කාලය තුළදී රටෙහි ආර්ථිකය යළි නඟා සිටුවීම සඳහා මහ බැංකුව මගින් නිකුත් කළ කොවිඩ්-19 ණය සහන වැඩසටහන වෙතද සිය දායකත්වය ලබා දී සිය පාරිභෝගිකයන් වෙත ණය පමාසහන ලබාදීමටද කටයුතු කර තිබේ.

එසේම කොවිඩ්-19 තර්ජනය තවදුරටත් ශ්‍රී ලංකාව තුළ විශාල ලෙස පවතිද්දීම සිය ණය කළඹ විවිධාංගීකරණයට ලක් කරමින් සමාගමේ ප්‍රත්‍යස්ථතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහ ශක්තිමත් ද්‍රවශීලතා මට්ටමක් පවත්වාගෙන යාමටත් කටයුතු කළ බවත් සමාගම පවසයි.

ඒ අනුව ආර්ථික කැළැඹිලි සහගත තත්ත්වය සහ කොවිඩ්-19 වසංගතයේ බලපෑම හමුවේ වුවද අබාන්ස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම පෙර වසර හා සාපේක්ෂව 2020/21 වසරේදී වාර්තාගත ලෙස ඉහළ ලාභයක් වාර්තා කිරීම සඳහා සිය ක්‍රියාකාරකම් යළි උපායමාර්ගිකව සකස් කිරීමටත් කටයුතු යෙදූ බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Views: 249