ඇක්සස් සමූහය කෘෂි කර්මාන්තය සහ පශුසම්පත් කර්මාන්තය වෙත ආයෝජනයට සූදානමින්

ඇක්සස් සමූහය ඉදිරියේදී කෘෂිකර්මාන්තය සහ පශුසම්පත් කර්මාන්ත වෙත සිය ආයෝජන පුළුල් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව එහි සභාපති සුමල් පෙරේරා මහතා පවසයි. රට තුළ ආහාර සුරක්ෂිතතාව වර්ධනය කිරීමේ අවස්ථාවක් ලෙස මෙය සිදු කරන බව ඔහු සඳහන් කරයි.

2021 අයවැය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ MBA ආදිශිෂ්‍ය සංගමය විසින් පසුගියදා සංවිධානය කරන ලද ‘Budget 2021’ සාකච්ඡා මණ්ඩපයේදී අදහස් දක්වමින් සුමල් පෙරේරා මහතා මෙම අදහස් පළ කර තිබේ. විශේෂයෙන්ම කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් පසුව ලොව පුරා උද්ගතවුණු අවදානම් සහගත තත්ත්වයත් සමගින්ම ලොව බොහෝ රටවල් මේ වනවිට ආහාර සුරක්ෂිතතාව කෙරෙහි අවධානය යොමු කර ඇතැයිද ඔහු මෙහිදී පවසා ඇත.

“ආහාර සුරක්ෂිතතාව අද ජාතික ප්‍රමුඛතාවක් බවට පත්වෙලා. එසේම එය සමාගම් සතු වගකීමක්. අපි ඊට ප්‍රතිචාර දැක්විය යුතුයි. අපි දැනටමත් මහවැලි බිම් කොටසක ආයෝජනයට මුලපුරලා තිබෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී ජාත්‍යන්තර ආයෝජනයක් යටතේ පශු සම්පත් ව්‍යාපෘතියක් වෙත ආයෝජනයටත් බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව ධීවර කටයුතු සඳහාත් පවතින හැකියාව පිළිබඳව අපි අවධානය යොමු කරනවා.” ඇක්සස් සභාපති සුමල් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.

කෙසේ වෙතත් කෘෂි කර්මාන්තය සහ පශුසම්පත් කර්මාන්තය හරහා ලැබෙන ලාභය අඩු බව පවසන හෙතෙම, එහෙත් එය %ජාතික අයෝජනයක්^ බවට පත් කරගත යුතු බවත් එය රටෙහි සංවර්ධනයට අවශ්‍ය දෙයක් බවත් මෙහිදී අවධාරණය කර තිබේ.

1989 වසරේදී මෙරට තුළ Konika ෆොටෝකොපි යන්ත්‍ර ගෙන්වා බෙදා හැරීමේ එකම නියෝජිතයා ලෙස සිය මෙහෙයුම් ආරම්භ කළ ඇක්සස් සමූහය පසුගිය වසරේදී සිය 30 වැනි සංවත්සරය සැමරීය. අද වනවිට සමූහය යටතේ සිටින සේවකයන් සංඛ්‍යාව 6,000කට ආසන්න වෙයි. ඉංජිනේරු, දුරකතන සන්නිවේදන, ජල,  සෞඛ්‍ය ආරක්ෂක, අධ්‍යාපනික, දේපළ සංවර්ධනය, මෝටර් රථ, විදුලිය සහ පුනර්ජනනීය බල ශක්තිය යනාදී ක්ෂේත්‍ර තුළ එම සමූහය ව්‍යාප්තව තිබේ.

මෙරට තුළ අමතරව අද වනවිට ඇක්සස් සමූහය මාලදිවයින, අප්‍රිකාව සහ මැදපෙරදිග දක්වාත් සිය ව්‍යාපෘති පුළුල් කර තිබේ. එසේම පසුගිය වසරේදී එම සමාගම මියන්මාරයේදීද සිය කාර්යාලයක් ස්ථාපිත කර තිබේ.

Visits: 478