බිස්නස් ටුඩේ 2019-2020 TOP 30 ප්‍රකාශයට පත් කෙරේ

මෙරට තුළ පළ කෙරෙන ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන බිස්නස් ටුඩේ සඟරාව මගින් වාර්ෂිකව එළි දක්වන මුල් පෙළේ ව්‍යාපාර 30 ඇතුළත් TOP 30 ලැයිස්තුව පසුගියදා නිකුත් කෙරුණු එම සඟරාවේ නොවැම්බර් කලාපය සමගින් ප්‍රකාශයට පත් කෙරිණි.

විශේෂයෙන්ම 2019-2020 මූල්‍ය වසර මෙරට සමාගම් වෙත වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් ලෙස සැලකිය හැකි බවත්, එම කාලය තුළ සමාගම් මගින් නිකුත් කළ  කාර්යසාධනය අනුව මෙම හොඳම සමාගම් තෝරා ගැනීම සිදු කළ බවත් බිස්නස් ටුඩේ සඟරාව සඳහන් කරයි.

මෙහිදී මූලිකවම ආර්ථික කාර්යසාධනය සඳහා බලපෑම් එල්ල කළ ප්‍රධාන සාධකය වන්නේ දේශපාලන අස්ථාවරත්වය සහ වර්ධනය අඩාල කළ අනාරක්ෂිත බව යැයි සඟරාව පවසයි. එසේම රට සහ සමාගම් අංශය පසුගිය කාලසීමාවේදී බොහෝ සුළි කුණාටුවලට හසු වුණු බවත්, එසේම ඉදිරියේදීද මෙම අස්ථාවරත්ව පරිසරය ශ්‍රී ලංකාවේ සමාගම් අතර පවතිනු ඇතැයිද බිස්නස් ටුඩේ සඟරාව වැඩිදුරටත් පවසා සිටියි.

පෙර වසරේදී කොළඹ කොටස්  හුවමාරුවේ ලැයිස්තුගත සමාගම් විසින් ප්‍රකාශයට පත් කරන ලද සිය සමාගම් පිළිබඳ තොරතුරු පාදක කරගනිමින් මෙම බිස්නස් ටුඩේ TOP 30 ලැයිස්තුව සකස් කෙරෙන බව එම සඟරාව පවසයි. ඒ අනුව 2019 දෙසැම්බර් 31 වැනිදා සිට 2020 මාර්තු 31 වැනිදා දක්වා කාලය තුළ සමාගම් වාර්තා කළ කාර්යසාධනය අනුව මෙම ලැයිස්තුව සඳහා සමාගම් තෝරා ගැනීම සිදුවී තිබේ. එහිදී KPMG Sri Lanka ආයතනයේ සහායද මේ සඳහා හිමිව ඇත.

සඟරාව පවසන ආකාරයට බිස්නස් ටුඩේ TOP 30 2019-2020 ලැයිස්තුවෙහි මෙතෙක් කලක් රැඳුණු සමාගම් බොහෝමයක් වර්ගීකරණයේ ස්ථානයන්හි වෙනස්කම් සහිතව තවදුරටත් එහි  රැඳී සිටියි. එසේම පළමුවරට මෙම ලැයිස්තුවට ඇතුළත් වූ සමාගම්ද වෙයි. විශේෂයෙන්ම මෙවැනි අභියෝගාත්මක පරිසරයක් තුළදී වුවත් මෙලෙස නව සමාගම් කිහිපයක්ම දැකගැනීමට අවස්ථාව ලැබීම සැබැවින්ම උද්‍යෝගිමත් අවස්ථාවක් බවත් බිස්නස් ටුඩේ සඟරාව පවසයි.

මේ අතරින් කොමර්ෂල් බැංකුව වසර 19කට පසුව මෙම බිස්නස් ටුඩේ TOP 30හි පළමු ස්ථානය දිනා ගැනීමට සමත්ව සිටියි. අවසන් වරට ඔවුන් මීට පෙර මෙම ලැයිස්තුවේ පළමු තැනට පත්ව ඇත්තේ 2000/2001 මූල්‍ය වසරේදීය. ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව ගෙවුනු කාලසීමාවේදී මෙම බිස්නස් ටුඩේ සඟරාවේ මුල් පෙළේ සමාගම් වර්ගීකරණයේ විවිධ ස්ථාන තුළ රැඳීමට සමත් විය.

එසේම ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම බිස්නස් ටුඩේ TOP 30 2019-2020 ලැයිස්තුවේ අට වැනි ස්ථානයේ පසුවෙයි. එම සමාගම පසුගිය 2019-2020 වසරේ සිටි 15 වැනි ස්ථානයේ සිට මෙවැනි ඉහළ ඒමක් සිදුව තිබීම කැපී පෙනෙයි. එහිදී මෙම දුරකතන සන්නිවේදන දැවැන්තයා අද වන විට නව සිතිවිලි සහ නවෝත්පාදනයක් සහිත නායකත්වයක්  යටතේ ඉතා හොඳ ස්ථානයක පසුවන බවත් එහිදී සභාපති රොහාන් ප්‍රනාන්දුගේ සහ සමූහ ප්‍රධාන විධායක නිලධාරි ලලිත් සෙනෙවිරත්නගේ දැක්ම ප්‍රධාන වන බවත් බිස්නස් ටුඩේ සඟරාව පවසයි.

මේ අතර පළමුවරට බිස්නස් ටුඩේ TOP 30 වෙත ඇතුළත්ව සිටින ඔර්වර්සීස් රියැල්ටි සමාගම එහි අංක 12 ස්ථානයේ පසුවෙයි. විශේෂයෙන්ම උච්චාවචනය වන දේපළ වෙළෙඳාම් වෙළෙඳ පොළක් තුළ එම සමාගම මෙවැනි මුල් ස්ථානයක් ලබා ගැනීමට සමත්වීමත් කැපී පෙනෙන අවස්ථාවකි.

එසේම ටෝකියෝ සිමෙන්ති සමාගමද යළිත් මෙම ලැයිස්තුව වෙත එක්වෙමින් අංක 23 ස්ථානයේ පසුවෙයි. ඒ අනුව සමාගම් නැවතත් මෙම ලැයිස්තුවට ඇතුළත්වීම සඳහා ඉතා හොඳ කාර්යසාධනයක් පෙන්නුම් කිරීම සැමවිටම අනෙකුත් සමාගම් ධෛර්යමත් කරවන්නක් බවද බිස්නස් ටුඩේ සඟරාව පවසයි.

එහිදී ටෝකියෝ සිමෙන්ති සමාගම පසුගිය වස‍ර වඩාත් ලාභදායක වසරක් ලෙස වාර්තා කිරීමට අමතරව ඔවුන් නිෂ්පාදන ධාරිතාව සහ වෙළෙඳ පොළ කොටස යටතේ තවදුරටත් ශ්‍රී ලංකාවේ විශාලතම සිමෙන්ති නිෂ්පාදකයා බවට වන සිය ස්ථානයත් ආරක්ෂා කරගැනීමට සමත්ව සිටියි.

මේ අතර ෆර්ස්ට් කැපිටල් හෝල්ඩිංග්ස් සමාගම බිස්නස් ටුඩේ TOP 30 ලැයිස්තුව වෙත පළමුවරට ඇතුළත්ව සිටින අතර ඔවුන් එහි 30 වැනි ස්ථානයේ පසුවෙයි.

Visits: 453