මත්තල මෙහෙයුම් ඇරඹීමට ගුවන් සමාගම් කිහිපයක් එකඟතාවයක

ලබන අගෝස්තු 01 වැනිදායින් පසුව මත්තල ගුවන් තොටුපොළ සිට ගුවන් මෙහෙයුම් කඩිනමින් ආරම්භ කිරීමට ගුවන් සමාගම් කිහිපයක්ම දැනටමත් එකඟතාවය පළ කර ඇතැයි සිවිල් ගුවන් සේවා හා සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඒ අනුව ලබන අගෝස්තු 01 වැනිදා සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සංචාරකයන් විවෘත කිරීමට සමගාමීව මත්තල ගුවන් තොටුපොළෙහිද ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් ඇරඹීමට රජය සූදානමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කර සිටියි. එහිදී ගුවන් සේවා අධිකාරිය, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අමාත්‍යාංශය මේ  සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් සඳහන් වෙයි.

කටුනායක ගුවන් තොටුපොළ සංචාරකයන් සඳහා යළි විවෘත කිරීමේදී අවශ්‍ය කෙරෙන සමේ උෂ්ණත්වය හඳනාගැනීමේ කැමරා උපකරණ, නවීන සන්නිවේදන පද්ධති, අධෝරක්ත උෂ්ණත්වමාන, විශේෂිත මුහුණු ආවරණ, පී.පී.සී. ආවරණ හා අත්වැසුම් වැනි උපකරණ තොගයක් ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

රුපියල් මිලියන 45ක් වටිනා මෙම උපකරණ තොගය සංක්‍රමණිකයන් සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ මූලිකත්වයෙන් කටුනායක ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමට ප්‍රදානය කර තිබේ. ජපානය හා ඔස්ට්‍රේලියානු රජයන් මෙම ප්‍රදානයන් අදාළ සංවිධානයට ලබා දී ඇත.

මෙම උපකරණ තොගය භාරගැනීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා, විදේශගත ශ්‍රමිකයන් මවුබිමට ගෙන්වා ගැනීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් උපදෙස් දී ඇති බව පවසා ඇත. ඒ අනුව අගෝස්තු 01 වැනිදාට පෙර ඔවුන් සියලු දෙනා දිවයිනට ගෙන්වා ගැනීමට හැකි වෙනු ඇතැයිද අමාත්‍යවරයා පවසයි.

මෙම උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාව සඳහා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජී.ඒ. චන්ද්‍රසිරි, සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, සංක්‍රමණිකයන් සඳහා ජාත්‍යන්තර සංවිධානයේ සංක්‍රමණික හා පාලන ප්‍රධානී ශාන්ත කුලසේකර යන මහත්වරුන් සහභාගි වී තිබේ.

Views: 80