රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිගෙන් එරට‍ රෝහල් වෙත ‘සිලෝන් තේ’

රුසියාව තුළ ව්‍යාප්තව ඇති කොවිඩ්-19 වසංගතය පාලනය සඳහා කටයුතු කරන එරට ප්‍රධාන පෙළේ රෝහල් කිහිපයක් වෙත සිලෝන් තේ සන්නාමය සහිත තේ නිෂ්පාදන තොගයක් ප්‍රදානය කිරීමට එරට ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය එම්.ඩී. ළමාවංශ මහතා කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මැදිහත් වීමෙන් මෙම කටයුතු සිදුව ඇත.

ඒ අනුව කොවිඩ්-19 රෝගීන් ප්‍රතිකාර ලබන රෝහල් කිහිපයක් වෙතම මෙම සිලෝන් තේ නිෂ්පාදන ලබාදීමට තීරණය වී තිබේ. ඒ යටතේ සංකේතාත්මකව මෙම සිලෝන් තේ නිෂ්පාදන පිරිනැමීමේ අවස්ථාවක් පසුගිය ජූනි 16 වැනිදා මොස්කව් නුවර සායනික රෝහල වෙත ප්‍රදානය කෙරුණු බව රුසියාවේ මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

මෙහිදී තානාපතිවරයා අතින් සිලෝන් තේ අඩංගු තේ බෑග් 40,800 ක් එම රෝහලේ නියෝජ්‍ය ප්‍රධාන වෛද්‍යවරයා වන වෛද්‍ය  ඉගොර් ටියුරින් වෙත ලබා දී තිබේ. මෙම සායනික රෝහල මොස්කව් නුවර කොම්මුනාර්කා රෝහල (Kommunarka Hospital) ලෙසින් වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇත. රුසියාව තුළ වසංගතය ව්‍යාප්තවීම ඇරඹි දිනයේ සිට මේ දක්වා රෝගීන් 3,000කට අධික පිරිසක් මෙම නවීනතම රෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරී ඇත.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ මැදිහත්වීමෙන් සංවිධානය කෙරුණු මෙම සිලෝන් තේ නිෂ්පාදන ප්‍රදානය කිරීම සඳහා මෙරට ප්‍රධාන පෙළේ තේ නිෂ්පාදකයන් 12 දෙනෙකුම දායකත්වය ලබා දුන් බව තානාපති කාර්යාලය පවසයි. ඒ අනුව BASILUR සන්නාමය හිමි බසිලුර් ටී එක්ස්පෝර්ට් (පෞද්) සමාගම, UNITEA සන්නාමය හිමි යුනිට්‍රේඩ්ස් (පෞද්) සමාගම, EMPIRE TEAS, HYSON සන්නාම හිමි එම්පයර් ටීස් (පෞද්) සමාගම, VENTURE TEAS සන්නාමය හිමි වෙන්චර් ටී (පෞද්) සමාගම, ZYLANICA සන්නාමය හිමි සිලෝන් ෆ්‍රෙෂ් ටීස් (පෞද්) සමාගම, HYLES සන්නාමය හිමි රිජන්සි ටී (පෞද්) සමාගම, IMPERIAL සන්නාමය හිමි ඉම්පීරියන් ටී එක්ස්පෝර්ට් (පෞද්) සමාගම, BATTLER සන්නාමය හිමි මාල්ට්‍රාස් ඉන්ටර්නැෂනල් (පෞද්) සමාගම, DILMAH සන්නාමය හිමි එම්.ජේ.එෆ්. ටීස් (පෞද්) සමාගම, AKBAR BROTHERS සන්නාමය හිමි අක්බාර් බ්‍රදර්ස් (පෞද්) සමාගම, LEOSTE TEA සන්නානමය  හිමි ලියෝස්තේ ටී සමාගම, JAF TEA සන්නාමය හිමි ජෆාර්ජී බ්‍රදර්ස් යනාදී සමාගම් මෙහිදී දායකත්වය ලබා දී ඇත.

මෙම අවස්ථාව සඳහා BASILUR සහ AKBAR BROTHERS යන සමාගම්හි නියෝජිතයන්ද තානාපතිවරයා සමගින් සිලෝන් තේ නිෂ්පාදන ප්‍රදානය සඳහා සහභාගි වූ බව මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

ඉදිරියේදී  මොස්කව් නුවර සහ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පිහිටි තවත් ප්‍රධාන පෙළේ රෝහල් 4ක් වෙත ටී බෑග් 150,000ක් ප්‍රදානය කිරීමටත් පියවර ගන්නා බව මොස්කව් නුවර පිහිටි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරයි.

Visits: 50