ආචාර්ය කිෂු ගෝමස් Exterminators PLC සභාපති ධුරයට

මෙරට සුප්‍රසිද්ධ සමාගම් ප්‍රධානියෙකු මෙන්ම මාධ්‍ය තුළ ජනප්‍රිය චරිතයක් වන ආචාර්ය කිෂු ගෝමස් මහතා Exterminators PLC (EXT.N0000) සමාගමෙහි නව සභාපතිවරයා ලෙස පත් කරගත් බව එම සමාගම පවසයි. ඒ අනුව 2024 පෙබරවාරි 08  වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදුව තිබේ.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පලිබෝද මර්දන ව්‍යාපාරයේ නිරත සමාගමක් වන Exterminators PLC සමාගමෙහි සභාපතිවරයා ලෙස කටයුතු කළ චාමින්ද රත්නායක මහතා එම ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව කිෂු ගෝමස් මහතා මෙම නව ධුරය සඳහා පත් කර තිබේ.

මේ අතර 2023 වසරේ සැප්තැම්බර් 08 වැනිදා වනවිට ආචාර්ය කිෂු ගෝමස් මහතා සතුව Exterminators PLC සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොමැති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

සුප්‍රසිද්ධ බහුජාතික බීම සමාගමක් වන කොකාකෝලා සමාගම හා එක්ව සිය වෘත්තීය දිවිය ආරම්භ කරන කිෂු ගෝමස් මහතා, එම සමාගමෙහි වෙළෙඳ සහ අලෙවිකරණ ජ්‍යෙෂ්ට කළමනාකරු දක්වා ඉහළ ඒමට සමත්විය. එහිදී ඔහු වෙත සිංගප්පූරුය සහ වියෙට්නාමය තුළත් කොකාකෝලා අලෙවිය පිලිබඳ වගකීම් භාරවිය.

අනතුරුව ඔහු ලොව සුප්‍රසිද්ධ බහුජාතික ඇමෙරිකානු ලිහිසි තෙල් සමාගමක් වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් සමගින් සම්බන්ධ වූ අතර, එහිදී ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා පීඑල්සී සමාගම මගින් සිය සමාගම වෙත පත් කළ ලාබාලතම ආසියානුවා ලෙසින්ද ප්‍රසිද්ධියට පත්ව සිටියි. එසේම පුරා වසර 18කට අධික කාලයක් ඔහු එම සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කර තිබේ. මීට අමතරව ඔහු කැල්ටෙක්ස් බංග්ලාදේශ් සමාගමේ සභාපතිවරයා මෙන්ම කැල්ටෙක්ස් ඉන්දියා ලිමිටඩ් හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර තිබේ.

මීට පෙර අවස්ථාවකදී ඔහු ශ්‍රී ලංකා සංචරණ ආයතනයේ සභාපතිවරයා ලෙසද පත් කෙරිණි. එසේම ඔහු රජයේ උපදේශක සභාවල සාමාජිකයෙකු ලෙසද කටයුතු කර ඇත.

ආචාර්ය උපාධි දෙකක් සහිත ආචාර්ය කිෂූ ගෝමස් මහතා, බ්‍රිතාන්‍ය විශ්වවිද්‍යාලයකින් අලෙවිකරණය පිලිබඳ උපාධියක්ද හිමි කරගෙන තිබේ. එසේම ඔහු 2021 වසරේදී LMD සඟරාව මගින් ශ්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය ව්‍යාපාරික නායකයාට හිමි සම්මානයද දිනා ගත්තේය.

අද වනවිට ඒ මහතාගේ දායකත්වයෙන් සන්ඩේ ඔබ්සර්වර් පුවත්පතෙහි සතිපතා පළ වන Biz Talk With Kishu Gomes තීරු ලිපි මාලාව,  ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර හා සම්බන්ධ මාතෘකි යටතේ දීර්ඝ කාලයක් පුරා පළ වන තීරු ලිපිය ලෙසටද වාර්තා තබා තිබේ.

එසේම ආචාර්ය කිෂු ගෝමස් මහතා අද වනවිට මෙරට රූපවාහිනි නාලිකා රැසකම ප්‍රධානතම ආරාධිතයෙකු මෙන්ම සම්පත්දායකයෙකු ලෙසද කටයුතු කරයි.

Visits: 0