සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් රුපියල් බිලියන 2.5ක හිමිකම් නිකුතුවක් සඳහා සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CRL.N0000) රුපියල් බිලියන 2.51ක් වටිනා (රුපියල් 2,512,994,563.20ක්) හිමිකම් නිකුත්වක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි.

සමාගමෙහි ප්‍රකාශිත ප්‍රාග්ධනය තවදුරටත් ඉහළ නංවා ගැනීම සහ නැවුම් ප්‍රාග්ධන ප්‍රමාණයක් සමාගම වෙත එකතු කරගැනීමේ අරමුණින් මෙම හිමිකම් නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි.

මෙහිදී නිකුත් කරන සාමාන්‍ය ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 380,756,752කි. මෙය දැනට නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටස් 16ක් සඳහාම අලුතින් කොටස් 10ක් බැගින් නිකුත් කිරීමක් ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව මෙහිදී එක් කොටසක වටිනාකම රුපියල් 6.60ක් ලෙස ප්‍රකාශ කර ඇති අතර, සමස්ත හිමිකම් නිකුතුවේ වටිනාකම රුපියල් බිලියන 2.51ක් වෙයි.

මහ බැංකුවෙහි ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගමට අනුව එහි වත්මන් ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් බිලියන 7.59ක් (7,597,925,039.42ක්) ලෙස සටහන්ව තිබේ.

ඒ අනුව මෙම නවතම හිමිකම් නිකුතුවත් සමගින් ලැබෙන රුපියල් බිලියන 2.51ක අරමුදල් සම්පාදනයත් සමගින් සමාගමේ ප්‍රාග්ධනය රුපියල් බිලියන 10ක් ඉක්මවනු ඇතැයි සඳහන් වෙයි.

විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් ෆිනෑන්ස් පීඑල්සී සමාගම තුළ සිදුවුණු දරුණු ප්‍රාග්ධන අහිමිවීම් වෙත පිළිතුරක් ලෙස මෙන්ම මහ බැංකුවෙහි බැංකු නොවන මූල්‍ය ආයතන සුපරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව මූල්‍ය සමාගමක් මගින් පවත්වාගෙන යා යුතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාව සම්පූර්ණ කිරීමේ අරමුණින් මෙම හිමිකම් නිකුතුව සිදු කිරීම සැලසුම වී තිබේ.

කෙසේ වෙතත් මෙම හිමිකම් නිකුතුව සිදු කිරීම කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය ලැබිය යුතුව ඇති බවත්, මෙම නිකුත් කිරීම සහ එම කොටස් ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගෙන් අනුමැතිය හිමිවිය යුතුව ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 86