Lanka IOC PLC බලපත්‍රය තවත් වසර 20කට අලුත් කෙරේ

ලංකා අයිඕසී පීඑල්සී සමාගම (LIOC.N0000) මෙරට තුළ සිදු කරන පෙට්‍රෝලියම් නිෂ්පාදන මෙහෙයුම් සඳහා වන බලපත්‍රය තවත් වසර 20කට අලුත් කිරීමට රජය පියවර ගෙන ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් එම සමාගම මේ බව සඳහන් කර සිටියි. ඒ අනුව 2024 වසරේ ජනවාරි 22 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි වසර 20ක් සඳහා මෙම බලපත්‍රය අලුත් කෙරෙන බව සඳහන් වෙයි.

අදින් වසර 21කට පෙරාතුව එනම් 2003 වසරේදී මෙරට තුළ පෙට්‍රෝලියම් නිෂ්පාදන ව්‍යාපාරය සඳහා ඇතුළු වී ලංකා අයිඕසී සමාගම සතුව අද වනවිට රට පුරා ඉන්ධන අලෙවිසැල් 250කට වැඩි සංඛ්‍යාවක් ස්ථාපිත කිරීමට සමත්ව සිටියි.

එසේම අද වනවිට මෙරට තුළ සිල්ලර ඉන්ධන අවශ්‍යතාවයෙන් 20%ක් සැපයීමද ලංකා අයිඕසී සමාගම මගින් සිදු කරයි.

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගමක් වන ලංකාඅයිඕසී සමාගම ඉන්දියාවේ ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගමේ පූර්ණ හිමිකාරීත්වය සහිත සමාගමකි. එහි කොටස් අතරින් 75%ක් ඉන්දියන් ඔයින් කෝපරේෂන් සමාගමට හිමි අතර, ඉතිරි 25% අනෙකුත් කොටස් හිමිකරුවන් අතර බෙදී පවතී.

මේ අතර ඊයේ දිනයේ කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී සමාගමේ කොටසක වටිනාකම රුපියල් 103.50ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 95.20ට සාපේක්ෂව රුපියල් 8.30ක එනම් 8.72%ක ඉහළ යාමකි.

ඉන්දියන් ඔයිල් කෝපරේෂන් සමාගම එරට රජයට අයත් බලශක්ති සමාගමක් වන අතර, එය එරට විශාලතම වාණිජ සමාගමක්ද වෙයි. එම සමාගම අද වනවිට ලොව රටවල් අටක් තුළ සිය මෙහෙයුම් සිදු කරයි.

Visits: 76