INSEE Ecocycle තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම සඳහා Daraz සමග එක්වෙයි

INSEE Ecocycle කල් ඉකුත් වූ හෝ හානි වූ භාණ්ඩ සම්බන්ධයෙන් තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් පිරිනැමීම සඳහා Daraz සමග හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. මෙය ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථිකය ශක්තිමත් කරන පියවරක් වනු ඇත.

මෙම හවුල්කාරීත්වය යටතේ, Daraz හි අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි විශේෂයෙන් සැලසුම් කළ විසඳුම් පිරිනැමීමට INSEE Ecocycle බලාපොරොත්තු වෙයි. විශේෂයෙන්ම Daraz හි ගබඩා තුළ පවතින, FMCG කාණ්ඩයට අයත් පාරිභෝගික භාණ්ඩ අතරින් කල් ඉකුත් වූ හෝ හානි වූ භාණ්ඩ කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමුවනු ඇත.

“මෙය INSEE Ecocycle හි අප සැම දෙනාටම සතුටු වියහැකි මොහොතක්. අප Daraz සමග හවුල්කාරීත්වයකට එළඹුණු ප්‍රථම අවස්ථාව මෙයයි. අපගේ අතිනවීන පහසුකම්වලින් සමන්විත සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානය මෙම ව්‍යාපෘතියේ කේන්ද්‍රය ලෙස ක්‍රියාකරනවා. අපද්‍රව්‍ය වෙන්කිරීම සහ පූර්ව-පිරිසැකසුම් ක්‍රියාවලිය සිදුවන්නේ මෙම මධ්‍යස්ථානය තුළයි. මෙවැනි ව්‍යාපෘතිවලදී අප විශේෂයෙන්ම අපගේසේවාදායකයන්ගේසන්නාමයේ ආරක්ෂාව සහ අදාළ රෙගුලාසි සහ ප්‍රමිතීන්ට අනුකූලව කටයුතු කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරනවා.” INSEE EcocycleLanka සමාගමේ සාමාන්‍යාධිකාරී සුජිත් ගුණවර්ධන මහතා පැවසී ය.

INSEE Ecocycle සම්පත් ප්‍රතිසාධන මධ්‍යස්ථානය මෙරට සමාගම් හා ආයතනවලට තිරසාර ක්‍රමවේදයන් ඔස්සේ අපද්‍රව්‍ය අවම කිරීම සහ සම්පත් ප්‍රතිසාධනය සිදුකිරීම සඳහා පුළුල් මට්ටමේ මගපෙන්වීමක් ලබාදෙයි.

“පරිසර හිතකාමී ක්‍රමවේදයන් සහ නවතම ප්‍රතිචක්‍රීකරණ විධික්‍රම භාවිතා කිරීම තුළින් අපට තිරසාරත්ව ඉලක්ක සහ මෙහෙයුම් විශිෂ්ටත්වය ළඟා කරගැනීමට මෙන්ම සියලුම දෙනා වෙනුවෙන් වඩාත් පරිසර හිතකාමී අනාගතයක් නිර්මාණය කිරීමට දායක වීමට අවස්ථාව ලැබෙනවා. මෙම හවුල්කාරීත්වය විශේෂයෙන්ම පාරිසරික වශයෙන් වගකීම්සහගත සහ සමාජයීය වශයෙන් සවිඥානික මාර්ගගත වෙළඳපොළක් බවට පත්වීමට අප දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” Daraz Sri Lanka කළමනාකාර අධ්‍යක්ෂ බාර්ට් වැන් ඩයික් මහතා පැවසී ය.

INSEE Ecocycle යනු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සහ එකම පූර්ණ වශයෙන් ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදන සමාගම වනINSEE Cement හෙවත් Siam City Cement (Lanka) Limitedහිඅපද්‍රව්‍ය කළමනාකරණ අංශයයි. සිය තිරසාර අපද්‍රව්‍ය කළමනාකරණ විසඳුම් ඔස්සේ ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථික ශක්තිමත් කිරීමට කැපීපෙනෙන දායකත්වයක් ලබාදෙන INSEE Ecocycle, එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කරගැනීමේ උත්සාහයද දිරිගන්වයි.

Visits: 46