එක්ස්ටර්මිනේටර්ස් බ්‍රිතාන්‍යයේ සිදු කිරීමට ගිය ආයෝජනය අත්හැර දමයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත පලිබෝධ මර්දන සමාගමක් වන එක්ස්ටර්මිනේටර් පීඑල්සී (Exterminators PLC) සමාගම එක්සත් රාජධානිය තුළ සිදු කිරිමට සැලසුම් කළ ආයෝජනය අත්හැර දමා ඇතැයි පවසයි.

පසුගියදා කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මේ බව සඳහන් කර තිබේ. එහිදී මූලිකවම ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විනිමය පාලන නීති මේ සඳහා හේතුව බව සමාගම පවසා සිටියි.

එම සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය සහ සබැඳි පාර්ශ්ව කමිටුව මගින් ඒකමතිකව ගනු ලැබූ තීරණයකට අනුව මෙම පියවර ගෙන තිබේ.

මෙම ආයෝජනය යටතේ එක්සත් රාජධානිය තුළ පළිබෝද කළමනාකරණය සහ ගෝලීය පරිසර තාක්ෂණික සමාගමක් ස්ථාපිත කිරිම සැලසුම විය.

මෙහිදී  බ්‍රිතාන්‍යයේ ස්ථාපිත Sentario UK Limited නම් සමාගම තුළ බ්‍රිතාන්‍ය පවුම් 75,000ක මුදලක් ආයෝජනය කරන බව සමාගම පවසා සිටියේය.

මෙය ශ්‍රී ලංකා රුපියල් මුදලින් රුපියල්  27,538,453ක්  එනම් රුපියල් මිලියන 27.5 කි. මෙම ආයෝජනය හරහා Exterminators PLC සමාගම වෙත Sentario UK Limited සමාගමෙහි 30%ක කොටස් හිමිකාරීත්වයක් හිමිවන බවත් සඳහන් විය.

මේ අතර එම සමාගම පෙන්වා දෙන ආකාරයට අදාළ ආයෝජනයේ සමස්ත වටිනාකම බ්‍රිතාන්‍ය පවුම් 325,000ක් විය. ඒ අනුව, ඉතිරි පවුම් 250,000 ක මුදල Exterminators PLC සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඩෙන්හැම් මාර්ලන් ෆෙරෙයිරා මහතා විසින් සිදු කරනු ඇතැයිද වැඩිදුරටත් සඳහන්ව තිබුණි.

Visits: 106