අගෝස්තු මාසයේදී වෙළෙඳ භාණ්ඩ අපනයනයේ 10.91%ක අඩුවීමක්

මේ වසරේ අගෝස්තු මාසයේදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනයේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,091.6ක් වූ බව අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි. මෙය 2022 වසරේ අගෝස්තු මාසයේදී වාර්තා වූ අපනයන ආදායම වූ ඩොලර් මිලියන 1,225.4ට සාපේක්ෂව 10.91% අඩුවීමකි.

ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත ඉදිරිපත් කරමින් අපනයන සංවර්ධන මණ්ඩලය මෙම කරුණු සඳහන් කර සිටියි.

විශේෂයෙන්ම ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි අංශවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයනයේ පහත වැටීමට හේතු වී ඇත.

කෙසේ වෙතත් මේ වසරේ අගෝස්තුවේ වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම මේ වසරේ ජූලි මාසයේ ආදායම වූ ඩොලර් මිලියන 1020.4 ට සාපේක්ෂව 6.98% ක වැඩිවීමක් ලෙසත් සඳහන්ව තිබේ.

මේ අතර, 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලසීමාව සඳහා සේවා අපනයනවල ඇස්තමේන්තුගත වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,409.08 ක් වූ අතර එය 2022 අනුරූප කාලපරිච්ඡේදයට වඩා 12.96% කින් වැඩි විය.

අපනයන සංවර්ධන මණ්ඩලයවිසින් ඇස්තමේන්තු කර ඇති සේවා අපනයන තොරතුරු තාක්ෂණය/ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (ICT/BPM), ඉදිකිරීම්, මූල්‍ය සේවා, ප්‍රවාහන සහ සැපයුම්වලින් සමන්විත වේ.

මේ අතර වසරේ මේ දක්වා ගත වූ මුල් මාස 08 තුළදී මෙරට වෙළෙඳ භාණ්ඩ අපනයනය ආදායම ඩොලර් මිලියන 7952.7ක් ලෙස සටහන්ව තිබේ.

Views: 40