1956 දී නවසීලන්ත ජනතාව ප්‍රදානය කළ කොළඹ මිල්කෝ කර්මාන්තශාලාව නැරඹීමට ගිය නවසීලන්ත මහ කොමසාරිස්

කොළඹ පිහිටි මිල්කෝ කර්මාන්තශාලාව නැරඹීම සඳහා නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇප්ලෙටොන් ඊයේ (22දා) සංචාරයක නිරත වූ බව පවසයි.

සිය  X (මීට පෙර Twitter) ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා සිටියි.

නවසීලන්ත ජනතාව ලාංකීය ජනතාව වෙත ලබාදෙන ප්‍රදානයක් ලෙස 1956 වසරේදී තිලිණ කළ අරමුදල් හරහා නවීන කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක් ලෙස මෙය ඉදිකර තිබේ.

කොළඹ ක්‍රමය යටතේ මෙම ස්ථානය ඉදිකර ඇතැයි එහි සඳහන්ව තිබේ. මේ සඳහා නවසීලන්ත රජය දැරූ වියදම ඩොලර් මිලියන 11කි.

“කොළඹ ක්‍රමය යටතේ නවසීලන්තයේ මහජනයා විසින් ලංකාවේ මහජනයාට පරිත්‍යාග කරන ලද මුදලින් මෙම නවීන කිරි සම්පාදන ස්ථානය තනවා යන්ත්‍ර සූත්‍රාදියෙන් සමන්විත කොට නිමවන ලදි.” යනුවෙන් එහි පුවරුවක සටහන්ව තිබේ.

1958 වසරේදී එවකට නවසීලන්ත අගමැතිවරයා වූ වෝල්ටර් නෑෂ් ද මෙම පරිශ්‍රය නැරඹීම සඳහා පැමිණ ඇතැයි මහකොමසාරිස්වරයා පවසා සිටියි.

අද වනවිටත් මෙම මිල්කෝ කර්මාන්තශාලාව සක්‍රීය මට්ටමෙන් ක්‍රියාත්මක වන අතර, එහි හයිලන්ඩ් යෝගට්, බෝතල් කළ කිරි සහ අයිස්ක්‍රීම් නිෂ්පාදන සිදු කරයි.

මෙහිදී තවදුරටත් අදහස් දක්වා ඇති නවසීලන්ත මහකොමසාරිස්වරයා මෙම කර්මාන්තශාලාව ඉදිකිරිම සඳහා නවසීලන්ත රජය ලබාදුන් මුදල අද ඩොලර් වටිනාමකින් කොපමණක්ද යන්නද විමසා සිටියි.

Visits: 149