C.W Mackie PLC අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු වාට්ටුව වැඩි දියුණු කරයි

ශ්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන C.W.Mackie PLC සමාගම පසුගියදා තවත් එක් සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් සඳහා සිය දායකත්වය ලබා දුන් අතර, එහිදී අනුරාධපුර ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය ප්‍රතිසංස්කරණය කිරීමත්, ඊට අනුබද්ධ නව ශල්‍යාගාරයක් ඉදි කිරීමත් සිදුවිය.

මේ පිළිබඳ අදහස් දැක්වූ C.W.Mackie PLCහි විධායක අධ්‍යක්‍ෂ මෙන්ම රෝහල් ප‍්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ සභාපති, මංගල පෙරේරා මහතා “අප සමාගම මෙරට සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ වීම ආරම්භ වූයේ  1990 දශකයේ දී කොළඹ ජාතික රෝහලේ ශල්‍ය වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය දායකත්වය ලබා දීමත් සමඟයි. ඉන් අනතුරුව 2016 වසරේ  ජාතික රෝහලේ 32 වන වාට්ටුව ප්‍රතිසංස්කරණය කර නඩත්තු කිරීමට කටයුතු කළ අතර අප ආයතනික සමාජ සත්කාරක ක්‍රියාකාරකම් අගනුවරට පමණක් සීමා නොකර, හොරණ මූලික රෝහලේ වාට්ටු අංක 10 වෙත ද අපදායකත්වය ලබා දුන්නා”.

C.W Mackie PLC හි මෙම සමාජ සත්කාරක වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් අනුරාධපුර රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ දුලාන් සමරවීර මහතා පැවසුවේ, “මෙය අපගේ රෝහල් ඉතිහාසයේ සුවිශේෂී සහ වැදගත් දිනයක්.හදිසි අනතුරු ප්‍රතිකාර වාට්ටුව ප්‍රතිසංස්කරණය කිරීම හා සුළු ශල්‍යාගාරයක් ඉදි කිරීම පිළිබඳව C.W. Mackie PLC හි කළමනාකාරිත්වයට සහ කාර්ය මණ්ඩලයට අපගේ අවංක කෘතඥතාව පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. ශ්‍රී ලාංකේය ජාතිය වෙනුවෙන් කැප වූ මෙම සමාජ සත්කාරක ව්‍යාපෘතිය ඇත්ත වශයෙන් රටටම ආදර්ශයක්.” යනුවෙනි.

C.W.Mackie PLCසමාගමේ සභාපති හේමක අමරසූරිය මහතා සිය අදහස් දක්වමින් ප්‍රකාශ කළේ, “C.W.Mackie PLC සමාගම වසර සියයකට අධික ඉතිහාසයක් ඇති සමාගමක්.  මෙම සමාජ සත්කාරක වැඩසටහන සමාගමේ කළමනාකාරීත්වය ඇතුළු සියලු දෙනාගේම දැඩි අවධානය යොමු වූ ව්‍යාපෘතියක් කිව්වොත් මා නිවැරදියි. ශ්‍රී ලංකාවේ මානව හා සෞඛ්‍ය පහසුකම් නංවාලීම සඳහා හැකි සෑම ආකාරයකින්ම සහයෝගය ලබා දීමට අප සූදානම්. අපි මේ රටේ වටිනාකම්, සංස්කෘතිය සහ ආචාර ධර්මවලට සැම විටම ගරු කරන සමාගමක්.  එම නිසා ශ්‍රී ලාංකේය ජනතාවට සේවය ලබා දීම අපගේ පරම වගකීම බව අපි තරයේ විශ්වාස කරනවා.” යනුවෙනි.

Views: 55