වසරේ මුල් මාස හයේදී Sinopec සමාගමේ ලාභය 20.1%කින් අඩුවෙලා

චීනයේ දැවැන්ත බොරතෙල් පිරිපහදු සමාගම වන Sinopec Corp. සමාගම මේ වසරේ පළමු අර්ධය සඳහා හිමිකරගෙන ඇති අතරමැදි ලාභය යුආන් බිලියන 35.11ක් එනම් එක්සත් ජනපද ඩොලර් බිලියන 4.82ක් වන බව පවසයි.

එම සමාගම ඊයේ දිනයේදී හොංකොං කොටස් හුවමාරුව වෙත නිකුත් කළ එම සමාගමේ අලුත්ම කාර්යසාධන වාර්තාව මගින් මේ බව පෙන්වාදී තිබේ.

ඒ අනුව මෙය පසුගිය වසරේ එම කාලසීමාවේදී සමාගම වාර්තා කළ අතරමැදි ලාභය හා සසඳා බැලීමේදී 20.1%ක පසුබැසීමක් ලෙස සටහන්ව තිබේ. විශේෂයෙන්ම ගත වූ කාලසීමාවේදී ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල පහළ යෑම මෙම තත්ත්වය ඇතිවීමට හේතුව ලෙස හඳුනාගෙන තිබේ.

වර්තමානයේදී ලොව විශාලතම බොරතෙල් පිරිපහදු සමාගම වන Sinopec Corp. සමාගම මේ වසරේ පළමු මාස හය සඳහා යුආන් ට්‍රිලියන 1.59ක ආදායමක් රැස් කරගැනීමට සමත්ව තිබේ. එහෙත් එය පෙර වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී 1.1%ක පහත වැටීමකි.

මෙම වාර්තාව පෙන්වා දෙන ආකාරයට ගත වූ එම කාලසීමාවේදී Sinopec Corp. සමාගම මගින් මෙට්‍රික් ටොන් මිලියන 126.54ක් පමණ වන බොරතෙල් ප්‍රමාණයක් පිරිපහදු කර තිබේ. එය පෙර වසර හා සැසඳීමේදී 4.8%ක ඉහළ යෑමකි. එසේම එම සමාගමේ පිරිපහදු කළ බොරතෙල් අලෙවියද ටොන් මිලියන 116.6ක් දක්වා 18.5%කින් ඉහළ නැග ඇත.

විශේෂයෙන්ම දේශීය ඉන්ධන ඉල්ලුම මේ වසරේ දෙවැනි කාර්තුවේදී යම් ප්‍රකෘතිමත්වීමකට ලක්ව ඇති අතර, එහිදී පෙර වසරේ පළමු මාස තුනක කාලය හා සැසඳීමේදී 6.7%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. එහිදී ගෑස් සහ සංචාරක කර්මාන්තය වර්ධනය විම නිසා ගුවන් යානා ඉන්ධන සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් ඇත.

මේ අතර එම වාර්තාවට අනුව මේ වසරේ මාස හයක කාලයේදී Sinopec Corp. සමාගම මගින් නිපදවා ඇති බොරතෙල් ප්‍රමාණය බැරල් මිලියන 139.68 කි. එය පෙර වසරේ එම කාලය හා සැසඳීමේදී 0.02%ක ඉහළ යාමකි. එසේම ස්වාභාවික වායු නිෂ්පාදනය කියුබික් අඩි බිලියන 660.88ක් දක්වා 7.6%කින් ඉහළ ගොස් තිබේ.

Views: 87