කොකෝවා මිල ඉහළ යෑමෙන් චොකලට් මිල ගණන් ඉහළට

ලොව පුරා චොකලට් මිල ගණන් ඉහළ යාමේ අවස්ථාවක් පවතින බව වාර්තා වෙයි. චොකලට් නිපදවීම සඳහා යොදා ගන්නා ප්‍රධානතම අමුද්‍රව්‍ය වන කොකෝවාහි වෙළෙඳ පොළ මිල ගණන් පසුගිය සතියේදී වසර 12කට පසුව වාර්තා කළ ඉහළම අගයකට පත්වීම මේ සඳහා හේතුව වී තිබේ.

ඒ අනුව ඉදිරියේදී චොකලට් නිෂ්පාදනයේ අඩුවීමක් සහ තොග අඩුවීමේ අවදානමක් පවතින බවත් වාර්තා සඳහන් කරයි.

වාර්තා සඳහන් කරන ආකාරයට එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර කොකෝවා වෙළෙඳ පොළ තුළ කොකෝවා මෙට්‍රික් ටොන් එකක වටිනාකම එක්සත් ජනපද ඩොලර් 3,552ක් බවට පත්ව තිබේ. මෙහිදී ඉහළම අගය ඩොලර් 3,569ක් බවට පත්විය. මෙය 2011 මාර්තු මාසයෙන් පසුව වාර්තා කළ ඉහළම කොකෝවා අගය ලෙසද සැලකෙයි.

අද වනවිට ලොව ඉහළම කොකෝවා වගාකරුවන් ලෙස බටහිර අප්‍රිකානු කලාපයේ පිහිටි අයිවරි කෝස්ට්, ඝානාව යන රාජ්‍යයන් සැලකෙයි. පසුගිය කාලසීමාවේදී ලෝක වෙළෙඳ පොළේ පොහොර මිල ගණන් ඉහළ යාමත් සමගින්ම කොකෝවා වගාකරුවන් අඩු පොහොර ප්‍රමාණයක් යෙදීම සහ පැවැති අයහපත් කාලගුණික තත්ත්වයන්හි බලපෑම කොකෝවා වගාව සහ ඵලදාව අඩුවීමට හේතුව වී තිබේ.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සඳහන් කරන ආකාරයට 2022 වසරට සාපේක්ෂව 2023 වසරේදී අයිවරි කෝස්ට්හි කොකෝවා නිෂ්පාදනය 20%කින් අඩුවීමට නියමිතව තිබේ.

ඒ අනුව මෙම කොකෝවා නිෂ්පාදනයේ පහතවැටීමත් සමගින්ම සැපයුමේ සිදුවන අඩුවීම නිසා සිය චොකලට් නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවන බව ලොව ප්‍රමුඛ චොකලට් නිෂ්පාදන සමාගම් වන Lindt සහ Hershey Co. යන සමාගම් දැනමටත් පවසා තිබේ.

මේ අතර කොකෝවා කර්මාන්තයේ පවතින මෙම අර්බුදය නිසා නිෂ්පාදනවල ප්‍රමාණාත්මක අඩුවිමට අමතරව ගුණාත්මක පහත වැටීමක්ද සිදුවනු ඇතැයි බ්ලූම්බර්ග් පවසයි. එසේම  ඉහළ යන මිලත් සමගින්ම චොකලට් සමාගම් සිය කොචලට් නිෂ්පාදනවල ප්‍රමාණය අඩු කරමින් කාටත් මිලදී ගත හැකි ලෙස නිෂ්පාදන ඉදිරිපත් කරනු ඇතැයිද සඳහන් වෙයි.

Visits: 80