කොමර්ෂල් බැංකුවට ඉන්දියානු වාණිජ මණ්ඩලයෙන් සම්මාන හයක්

ඉන්දියානු වාණිජ මණ්ඩලය (Indian Chamber of Commerce) පසුගියදා කොමර්ෂල් බැංකුව වෙත ගෞරවනීය සම්මාන හයක් පිරිනැමූ අතර බැංකුවේ දේශීය මෙහෙයුම් සඳහා සම්මාන දෙකක් සහ බැංකුවේ බංගලාදේශයේ මෙහෙයුම් සඳහා සම්මාන හතරක් ඒ අතර විය.

කොමර්ෂල් බැංකුවට ‘ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව’ට හිමි සම්මානය සහ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ යන සම්මානය ද ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් ප‍්‍රදානය කරනු ලැබීය. එසේම ‘වත්කම් ගුණාත්මකභාවය පිළිබඳ හොඳම කාර්ය සාධනය,’ ‘වර්ධනය මත හොඳම කාර්ය සාධනය,’ ‘අවදානම් කළමනාකරණය පිළිබඳ හොඳම කාර්ය සාධනය’ සහ ‘ලාභදායිතාවයේ හොඳම කාර්ය සාධනය’ උදෙසා බංගලාදේශයේ කොමර්ෂල් බැංකුව වෙත සම්මාන පිරිනමන ලදී.

ජූලි මාසයේ ඉන්දියාවේ ගෝවාහිදී පැවති ඉන්දියානු වාණිජ මණ්ඩලයේ, ආසියානු බැංකු සම්මේලනයේ සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනමනු ලැබීය.

ඉන්දියානු වාණිජ මණ්ඩලය විසින් කොමර්ෂල් බැංකුවට ලබාදී ඇති පිළිගැනීම ගැන අදහස් දක්වමින් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රභාගර් මහතා මෙසේ පවසා සිටියේය. ‘බිම්ස්ටෙක් රටවල බැංකු මුහුණ දෙන අභියෝග මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ සහ නියාමකයින්ගේ අපේක්‍ෂාවන් බොහෝ සමානය. මේ නිසා, කලාපීය බැංකු ක්ෂේත‍්‍රයේ කීර්තිමත් පුද්ගලයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විසින් ඇගයීමට ලක්වීම විශේෂ වටිනාකමක් ඇති අතර, ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව සඳහා වන සම්මානය මෙන්ම ශ‍්‍රී ලංකාවේ සහ බංගලාදේශයේ අපගේ මෙහෙයුම් සඳහා හොඳම කාර්ය සාධන සම්මාන පහක් දිනා ගැනීමට ලැබීම ගැනද අපි අතිශයින්ම සතුටු වෙමු.’

ආර්ථික වර්ධනය ප‍්‍රවර්ධනය කිරීමේදී බැංකු විසින් ඉටු කරනු ලබන භූමිකාව කෙරෙහි අවධානය යොමු කරමින්, පසුගිය වසංගත සමයේදී සහ යුරෝපයේ පශ්චාත් වසංගත යුධයට පසු මූල්‍ය ප‍්‍රතිපත්ති භාවිත කරමින් ‘වර්ධන එන්ජිමක්’ ලෙස කටයුතු කර තිබීම සහ බැංකු විසින් ගනු ලැබූ හොඳම පරිචයන් සහ නම්‍ය පියවරයන් මෙම සම්මාන සඳහා සලකනු ලැබීය. එසේම ඔවුන්ගේ මෙහෙයුම්වලදී ඔවුන් මුහුණ දුන් විවිධ අභියෝග රැසක් අවධානයට ගත් අතර, ගෙවීම් පද්ධතිවල නව්‍යකරණය, ඩිජිටල් වත්කම් කළමනාකරණය, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, විශාල දත්ත විශ්ලේෂණය, සයිබර් අනුකූලතාව, නියාමන අනුකුලතාව, සංවේදනය, මූල්‍ය සෞඛ්‍යය සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට මගපෙන්වීම සම්මාන සඳහා තක්සේරු කරන ලද අංශ අතර වෙයි.

මෙම සම්මාන ජූරිය බැංකු ක්ෂේත‍්‍රයේ ප‍්‍රබලයින්ගෙන් සමන්විත වූ අතර, කොමර්ෂල් බැංකුවට පිරිනැමූ සම්මාන සඳහා සලකා බලන ලද ප‍්‍රමාණාත්මක සාධක සමහරක් ලෙස, සමස්ත වත්කම්, දළ හා ශුද්ධ අත්තිකාරම්, තැන්පතු, මුළු ආයෝජන, උපයාගත් මුළු පොලී සහ ලාභ වැනි ප‍්‍රධාන මූල්‍ය දර්ශක ඇතුළත් විය. එසේම මෙහෙයුම් වියදම්, දළ ක‍්‍රියාකාරී නොවන වත්කම්, ආයෝජන මත ප‍්‍රතිලාභය, ද්‍රවශීලතා ආවරණ අනුපාතය, ප‍්‍රාග්ධන ප‍්‍රමාණවත් අනුපාතය, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති, බලශක්ති කාර්යක්‍ෂමතාව වැඩි කිරීමේ ව්‍යාපෘති, පරිසර දූෂණ පාලන ව්‍යාපෘති, ජල සංරක්‍ෂණ සහ පිරිපහදු ව්‍යාපෘති, අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, වන පුනර්ජනනීය ව්‍යාපෘති සහ සමාජ සත්කාරක වගකීම් සඳහා වියදම් වැනි අනෙකුත් අංශද අගැයීමට ලක්කරන ලදී.

Views: 32