සෙලින්කෝ ලයිෆ් වත්කම් 2023 මැයි අග වන විට රුපියල් බිලියන 200 ඉක්මවයි

සෙලින්කෝ ලයිෆ් 2023 මැයි 31 වන විට සිය මුළු වත්කම් ප‍්‍රමාණය රුපියල් බිලියන 200 සීමාව ඉක්මවා රුපියල් බිලියන 209.4 ක් බවට පත් කරගැනීමට සමත්ව ඇතැයි පවසයි.

මෙලෙස සිය වත්කම් ඉහළ නංවා ගැනීම සඳහා 2022 දෙසැම්බර් 31 වැනිදා සිට මාස පහක කාලය තුළ රුපියල් බිලියන 17.9 කින් එනම් සියයට 9.4 කින් එම වත්කම් වර්ධනය වීම හේතු වූ බව සමාගම සඳහන් කරයි. මේ අතර සමස්ත කොටස් වටිනාකම ද මැයි මස අවසානයේදී රුපියල් බිලියන 50 ඉක්මවමින් රුපියල් බිලියන 51.5 ක් වූයේ, සියයට 4.3 ක වර්ධනයක් සමඟය.

මේ අතර සෙලින්කෝ ලයිෆ් හි මූල්‍ය වත්කම්වල ආයෝජනයද මාස පහක් තුළදී රුපියල් බිලියන 18.6 ක එනම් සියයට 11.8 ක වර්ධනයක් පෙන්වමින් මැයි මාසයේදී සන්ධිස්ථානයක් පසු කිරිමට සමත් විය. ඒ අනුව මැයි මස අග වන විට එය රුපියල් බිලියන 176.4 ක් බවට පත් විය. මෙම කාලපරිච්ඡේදය තුළ සෙලින්කෝ ලයිෆ් තම ආයෝජන ආදායම රුපියල් බිලියන 4.5 කින් නැතහොත් සියයට 69.4 කින් වර්ධනය කරගනිමින් මාස පහ සඳහා රුපියල් බිලියන 11.2 ක ආයෝජන ආදායමක් වාර්තා කිරීමටද සමත්ව තිබේ.

සෙලින්කෝ ලයිෆ් කළමනාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී තුෂාර රණසිංහ මහතා පැවසුවේ ”මූල්‍ය ශක්තිය සහ ස්ථාවරත්වය වෙන කවරදාකටත් වඩා අත්‍යවශ්‍ය වන මෙවන් අවස්ථාවක මෙම කාර්යසාධනය සියළුම පාර්ශවකරුවන් අතිශයින් දිරිගන්වන සුළුයි. අභියෝග මධ්‍යයේ සමාගමේ මූලික ව්‍යාපාරික අංශ කළමනාකරණය කිරීමේ කුසලතාවය හා ආයෝජන කළමනාකරණය කිරීමේ තීක්‍ෂණභාවය මෙමගින් නැවත වරක් තහවුරු වේ.”

සෙලින්කෝ ලයිෆ් වසරේ මුල් මාස පහ සඳහා රුපියල් බිලියන 10.6 ක දළ ලිඛිත වාරික ආදායමක් වාර්තා කළ අතර ශුද්ධ හිමිකම් සහ ප‍්‍රතිලාභ වශයෙන් රුපියල් බිලියන 9.3 ක් ගෙවා ඇත. සමාගමේ ජීවිත අරමුදල මෙම කාලය තුළ රුපියල් බිලියන 7 කින් නැතහොත් සියයට 5.2 කින් රුපියල් බිලියන 141.9 ක් දක්වා වර්ධනය විය. මෙම වසරේ මැයි සහ ජූනි මාසවලදී සෙලින්කෝ ලයිෆ් විසින් සමාගමේ 35 වැනි සංවත්සරය සැමරීම සඳහා ගෙවන ලද විශේෂ ප‍්‍රසාද දීමනා ඇතුළුව විශ්වාසවන්ත රක්‍ෂණ ඔප්පු හිමියන්ට වාර්ෂික බෝනස් ලෙස රුපියල් බිලියන 6 කට වඩා ගෙවා ඇත.

Visits: 65