නව විදුලිබල පනත් කෙටුම්පත අනුමැතිය සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කෙරේ

නව විදුලිබල පනත් කෙටුම්පත සඳහා අවශ්‍ය අනුමැතිය වෙනුවෙන් එය නීති කෙටුම්පත් කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව නීතිපතිවරයාගේ අනුමැතිය ලද සැණින් එය කැබිනට් මණ්ඩලය වෙත යොමු කර එහි අනුමැතිය ලබා ගැනීම අමාත්‍යාංශයේ බලාපොරොත්තු වේ.

විදුලිබල මණ්ඩලය ප්‍රතිවූහගත කිරීමේ වැඩපිළිවලේ ඉදිරි පියවර සම්බන්ධයෙන් සංවර්ධන නියෝජිත ආයතන සමග ඊයේ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකින් පසුව අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

මේ අතර විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමේ ලේකම් කාර්‍යාලයක් පිහිටුවා එමගින් සංවර්ධන නියෝජිත ආයතන සමග සාකච්ඡා කර අවශ්‍ය තාක්ෂණික සහ මුල්‍ය සහය ලබාගන්නා බවද අමාත්‍යවරයා පවසයි. ඒ අතරතුර ඉදිරි සැලසුම් සහ නව පනතේ විධිවිධාන ක්‍රියාත්මක කරනු ඇතැයිද හෙතෙම පවසයි.

මෙම සාකච්ඡාව සදහා ආසියානු සංවර්ධන බැංකුවේ, ලෝක බැංකුවේ (ADB), ජපාන අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සියේ (JICA), එක්සත් ජනපද ජාත්‍යන්තර සංවර්ධන නියෝජිත ආයතනයේ (USAID) සහ ජාත්‍යන්තර මූල්‍ය සංගමයේ (IFC) මෙරට ප්‍රධාන නියෝජිතයන්, අධ්‍යක්ෂවරුන්, මෙහෙයුම් ප්‍රධානීන්, උසස් නිළධාරීන් සහ විදුලිබල හා බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක් සහභාගි වී තිබේ.

Views: 45