CL Synergy මූලික මහජන කොටස් නිකුතුව කල් දැමේ

මෙරට මුල් පෙළේ භාණ්ඩ ප්‍රවාහන සමාගමක් වන CL Synergy Limited සමාගම ලබන අප්‍රේල් 07 වැනිදා කොළඹ කොටස් හුවමාරුවෙහි විවෘත කිරීමට සැලසුම් කර තිබූ මූලික මහජන කොටස් නිකුතුව කල් දැමෙන බව ප්‍රකාශ කර සිටියි.

විශේෂයෙන්ම වර්තමානයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ උද්ගතව පවතින තත්ත්වය සහ ආසන්නතම පැය 24ක කාලය තුළදී රට තුළ ඇති වූ තත්ත්වය සලකා බලමින් සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම තීරණය ගත් බව CL Synergy Limited සමාගම පවසයි.

ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව පිළිබඳ නව දිනය ඉදිරියේදී දැනුම් දීමක් සිදු කරන බව සමාගමේ අදහස වී තිබේ. එහිදී කොළඹ කොටස් හුවමාරුවෙහි රීතින් අනුව, අදාළ මූලික මහජන කොටස් නිකුතුව සඳහා අනුමැතිය ලැබීමෙන් අනතුරුව මාස 6ක කාලයක් ඇතුළතදී මෙලෙස නව මූලික මහජන කොටස් නිකුතුවක් විවෘත කිරීමේ හැකියාව පවතී.

එසේම මෙම මූලික මහජන කොටස් නිකුතුවට අදාළව ප්‍රකාශයට පත් කෙරුණු සංස්ථා ප්‍රකාශය සහ මෙලෙස අලුතින් නිකුත් කෙරෙන එම නිකුතුව විවෘත කිරීමේ දිනය අතර කාලයේදී සමාගම සම්බන්ධයෙන් යම් වෙනස්කම් සිදු වන්නේ නම් ඒ පිළිබඳව වෙළෙඳ පොළ තවදුරටත් දැනුවත් කිරීමටත් CL Synergy Limited සමාගම කටයුතු කරන බවත් අවධාරණය කරයි.

‍”සමාගම මගින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති මූල්‍ය ප්‍රකාශනයට අමතරව ඉදිරියේදී අවශ්‍ය වුවහොත් සමාගම මගින් යාවත්කාලීන කෙරුණු අතරමැදි සහ විගණනය කෙරුණු මූල්‍ය ප්‍රකාශනයක් ප්‍රසිද්ධියට පත් කිරිමත් සිදු කිරීමටද සූදානමින් සිටිනවා.” යනුවෙන් සමාගම පවසයි.

මේ අතර සමාගම මගින් දැනටමත් ප්‍රසිද්ධියට පත් කර ඇති කිසියම් ලියවිල්ලක් (සංස්ථා ප්‍රකාශනය හෝ පර්යේෂණ වාර්තාව) වෙත ඉහත සඳහන් කළ කල් දැමීම හේතුවෙන් යම් බලපෑමක් එල්ල වන්නේ නම්, ඊට අදාළ වෙනස් කම් සම්බන්ධයෙන් වෙළෙඳ පොළ දැනුවත් කිරිමට කටයුතු කරන බවට අවධාරණය කරන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

ලබන අප්‍රේල් 07 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර තිබූ මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී දායකත්වය සඳහා නව සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 63 ක්ද, අලෙවිය සඳහා දැනට පවතින සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 28.5 ක්ද නිකුත් කිරීමට සමාගමේ අපේක්ෂාව විය.

CL Synergy සමාගම සඳහන් කරන ආකාරයට මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී නිකුත් කෙරෙන මුළු කොටස් සංඛ්‍යාව 91,500,000 කි. මෙම සාමාන්‍ය ඡන්ද හිමි කොටසක් රු. 14.00 බැගින් මිල කෙරිණි.  ඒ අනුව ඉන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 1.28ක් (1,281,000,000ක්) ලෙස ගණන් බලා තිබුණි.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේ කළමනාකරුවන් ලෙස Acuity Partners (පුද්.) සමාගම කටයුතු කරයි.

CL Synergy සමාගමේ ආදායමෙන් 65% ක්ම ඇමරිකා එක්සත් ජනපද ඩොලර් වලින් ලැබෙන අතර ආදායමෙන් 70% ක් ලැබෙනුයේ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සේවාදායකයන්ගෙන් බවත් පවසයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා අරමුදල් මගින් CL Synergy සමාගමේ කාරක ප්‍රාග්ධනය වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 320 ක්ද, ගෙවිය යුතු දීර්ඝකාලීන ණය ප්‍රමාණය අවම කරගැනීම සඳහා රු. මිලියන 212 ක්ද, ගැනුම්කරු හා සපයාගැනීම් වෙළඳපොළවල කලාපීය ව්‍යාප්තිය පුළුල් කරගැනීම සඳහා රු. මිලියන 200 ක්ද, ගාස්තු හා වෙන්කරවාගැනීම් පදනම වැනි මූලික ඩිජිටල් පද්ධති වැඩිදියුණු කරගැනීම සඳහා රු. මිලියන 150 ක්ද ආයෝජනය කිරීමට අප බලාපොරොත්තු වන බව CL Synergy සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රොෂාන් සිල්වා මහතා සඳහන් කර තිබුණි.

CL Synergy මූලික මහජන කොටස් නිකුතුවේ සංස්ථා ප්‍රකාශය (Prospectus) සහ අයදුම් පත්‍රය https://ipo.clsynergy.com/ හරහා ලබා ගත හැකිය.

Views: 162