මහ බැංකුවෙන් තවත් මුදල් හුවමාරු ආයතන දෙකකට අවවාදාත්මක නිවේදන

බලපත්‍රලාභී බැංකු විසින් ලබා දී ඇති විනිමය අනුපාතවලට වඩා වැඩි මිලකට විදේශ මුදල් ගනුදෙනු කර ඇති බවට හඳුනාගෙන ඇති තවත් මුදල් හුවමාරු ආයතන දෙකක් වෙතත් අවවාදාත්මක නිවේදන නිකුත් කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව කොළඹ 01 පිහිටි ස්විස් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම හා කොළඹ 06 පිහිටි එම සමාගමේ ශාඛාව සහ කොළඹ 06 පිහිටි වෙස්ටර්න් මනි එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම යන සමාගම් වෙත මෙලෙස එම අවවාද නිකුත් කෙරී ඇත.

මෙලෙස බලයලත් මුදල් හුවමාරු ව්‍යාපාර ස්ථානයන්හි අඛණ්ඩව ස්ථානීය පරීක්ෂණ සිදු කරන බවත්, එහිදී 2017 අංක 12 දරන විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ එම මුදල් හුවමාරු සමාගම් තමන්ට නිකුත් කර ඇති විධාන උල්ලංඝණය කර ඇති බවත් අනාවරණය කරගත් බව මහ බැංකුව පවසයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ විධානයන්ට අනුගත වන ලෙස නියෝග කරමින් මෙම මුදල් හුවමාරු කරන්නන්ට අවවාදාත්මක නිවේදන කිකුත් කෙරී තිබේ.

මෙලෙස එම අවවාදාත්මක නිවේදන මගින් දැනුම් දුන් කරුණු නිවැරදි කිරීමට මෙම බලයලත් මුදල් හුවමාරු කරන්නන් අපොහොසත් වුවහොත් ඔවුන් වෙන නිකුත් කර ඇති බලපත්‍ර අත්හිටුවීමට/අවලංගු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරනු ඇතැයිද වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර අදාළ විදේශ විනිමය හුවමාරු විධිවිධාන වෙත අනුකූල නොවූ ප්‍රසන්න මනි එක්ස්චේන්ජ් (පෞද්) සමාගම සතුව තිබූ මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවීමට මහ බැංකුව පසුගිය මාර්තු 30 වැනිදා පියවර ගෙන තිබුණි.

Visits: 136