JKH සහ ADB අතර ඩො.මි. 80ක් වටිනා පෞද්ගලික කොටස් නිකුතුවේ පළමු අදියර සම්පූර්ණ කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මුල් පෙළේ සමාගමක් වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී (JKH) සිය සමාගම තුළ ඇති ඩොලර් මිලියන 80ක් වටිනා නව සාමාන්‍ය කොටස් ප්‍රමාණයක් ආසියානු සංවර්ධන බැංකුව (ADB) වෙත පෞද්ගලික නිකුතුවක් ලෙස ලබා දීමේ කටයුත්තේ පළමු අදියර පසුගියදා සම්පූර්ණ කෙරුණු බව පවසයි.

ඒ අනුව මෙහිදී ඩොලර් මිලියන 50ක් පමණ වටිනාකමින් යුත් කොටස් ප්‍රමාණයක් ADB වෙත ලබාදීම සිදුව තිබේ. පසුගිය ජනවාරි 19 වැනිදා මෙම ගනුදෙනුව සිදුව ඇත.

මේ යටතේ සමාගමෙහි කොටස් 65,042‍්,006ක ප්‍රමාණයක් නිකුත් කෙරී ඇති බවත්, එහිදී එක් කොටසක වටිනාකම රුපියල් 154.50ක් වූ බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගම මගින් පළමුවරට පසුගිය නොවැම්බර් මාසයේ 29 වැනිදා මෙම නිකුතුව සම්බන්ධයෙන් කරුණු අනාවරණය කළ අතර, අදියර දෙකක් යටතේ මෙම පෞද්ගලික කොටස් නිකුතුව සිදු කරන බව ජෝන් කීල්ස් සමාගම සඳහන් කර තිබුණි.

ඒ අනුව මෙහි දෙවැනි අදියර යටතේ සමාගම මගින් තවත් කොටස් 39,025,204ක් නිකුත් කරනු ඇති බවත්, ඒවා ගනුදෙනුකළ නොහැකි/පැවරිය නොහැකි කොටස් ලෙස නිකුත් කෙරෙන බවත් පවසයි. එහිදීද කොටසක් රුපියල් 154.50ක් බැගින් නිකුත් කිරීම සැලසුම වන අතර, එහි සමස්ත වටිනාකම ඩොලර් මිලියන 30ක් ලෙස ගණන් බලා තිබේ.

මේ අනුව ඉහත සඳහන් කළ අදියර දෙක යටතේ නිකුත් කෙරෙන සමස්ත කොටස් ප්‍රමාණය 104,067,210 කි. එහෙත් පසුගිය නොවැම්බරයේදී සිදුකළ අනාවරණයට අනුව සමාගම මගින් නිකුත් කරන නව සාමාන්‍ය කොටස් 122,500,000ක ප්‍රමාණයක් අදියර දෙකක් යටතේ ADB වෙත ලබාදීම සැලසුම විය‍.

මෙහිදී මූලික කොටස් නිකුතුව මිලදී ගත් දිනය (2022 ජනවාරි 19) පදනම් කරගනිමින්, මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා වන කාල සීමාව 2022 ඔක්තෝබර් 19 වැනිදා සිට 2023 ජනවාරි 18 වැනිදා දක්වා වන බවත් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සඳහන් කරයි.

Views: 544