‘ලිට්ල් හාර්ට්ස්‘ සඳහා මැතිව්ස්ගේ ඉලක්කයෙන් රු.මිලියන 35ක් සම්පූර්ණ වෙයි

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව මහල් 10කින් යුත් අංගසම්පූර්ණ ළමා හෘද රෝග ඒකකයක් සහ වෛද්‍ය දැඩි සත්කාර ඒකකයක් පිහිටුවීම වෙනුවෙන් අරමුදල් රැස් කරගැනීම සඳහා ක්‍රියාත්මක ‘ලිට්ල් හාර්ට්ස්‘ ව්‍යාපෘතිය යටතේ, ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ගේ මැදිහත්වීමෙන් සිදුකරන ‘ටීම් අප් විත් ලිට්ල් හාර්ට්ස් (87682999)‘ බැංකු ගිණුම වෙත මේ දක්වා රුපියල් මිලියන 35ක මුදලක් එක් රැස්ව ඇතැයි පවසයි.

පසුගියදා මෙම බැංකු ගිණුම හිමි බොරැල්ලේ ලංකා බැංකු සුපිරි ශාඛාව මගින් ඇන්ජිලෝ මැතිව්ස් වෙත ඊ-මේල් පණිවුඩයක් මගින් මෙම අරමුදලේ වර්තමාන තත්ත්වය පිළිබඳව දැනුම් දීම සිදු කර තිබේ. ඒ අනුව මෙම ගිණුම ආරම්භ කළ දිනයේ පටන් මේ දක්වා ඒ වෙත රුපියල් 3,452,738.35ක මුදලක් බැරවී තිබෙන බව බැංකුව පවසයි.

මෙම සමස්ත ව්‍යාපෘතිය සඳහා වැයවෙතැයි ගණන් බලා ඇති මුදල රුපියල් බිලියන 2කි. මේ දක්වා ඒ වෙනුවෙන් රුපියල් මිලියන 800ක මුලක් රැස් වී තිබේ.

ඇන්ජිලෝ මැතිව්ස් සිය ‘ටීම් අප් විත් ලිට්ල් හාර්ට්ස්‘ හරහා මේ වෙනුවෙන් රුපියල් මිලියන 500ක මුදලක් රැස් කරදීම අරමුණ කර ගෙන සිටියි.

මෙම අරමුදල් රැස් කරගැනීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුද කර ඇති ඇන්ජිලෝ මැතිව්ස් මෙම අසීරු කාලසීමාවේදී පවා ජනතාව මෙම සුවිශේෂී ව්‍යාපෘතිය වෙත සිය මුදල්මය දායකත්වය තවදුරටත් ලබාදීම සම්බන්ධයෙන් සිය ස්තූතිය පුදකර තිබේ.

“මෙවැනි අසීරු කාලයකදී වුවත් ඔබ සියලු දෙනාම මෙම ව්‍යාපෘතිය වෙත දක්වන දායකත්වය ගැන ඉතාමත් සතුටුයි. මේ දක්වා රුපියල් මිලියන 35ක මුදලක් රැස් කරගන්නට අපි සමත් වෙලා තිබෙනවා. එය අප සියලු දෙනාගේම ආදරය සහ නිර්ලෝභීත්වය පෙන්නුම් කරන අවස්ථාවක්.” යනුවෙන් පවසා තිබේ.

එසේම මෙම ළමා හෘද ඒකකය සහ වෛද්‍යදැඩි සත්කාර ඒකකය යථාර්ථයක් බවට පත්කරගැනීම සඳහා ඉදිරියටත් කැපවීමෙන් කටයුතු කරන බවත් ඒ සඳහා දායකත්වය ලබා දෙන බවත් මැතිව්ස් සඳහන් කරයි.

“මේ කටයුත්ත වෙනුවෙන් සම්බන්ධ වන සියලු දෙනාම සහ මෙම සුවිශේෂී ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවීම හරහා අනාගතයේදී එහි ප්‍රතිලාභ ලබන වාසනාවන්ත දරුවන් වෙනුවෙන් මම ඔබ සියලු දෙනාටම මගේ හද පිරි ස්තූතිය පුද කරනවා.” යනුවෙන්ද ඇන්ජිලෝ මැතිව්ස් වැඩිදුරටත් පවසා සිටියි.

මැතිව්ස්ගේ දායකත්වයෙන් ක්‍රියාත්මක මෙම ‘ටීම් අප් විත් ලිට්ල් හාර්ට්ස් (ගිණුම් අංක 87682999) වෙත දායක වීමට කැමති පිරිස් වෙත ඒ සඳහා ඕනෑම මුදලක් ප්‍රදානය කිරීමේ අවස්ථාව ඇත. https://slcp.lk/little-hearts-project/ වෙත පිවිස මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

Visits: 127