ටී. සෙන්තිල්වර්ල් අමානා බැංකුවෙහි දෙවැනි විශාලතම කොටස්හිමිකරුවා වෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත අමානා බැංකුවෙහි (ABL.N0000) හි කොටස් 176,846,294ක් මිලදී ගැනීමට මෙරට සිටින ප්‍රමුඛ පෙළේ ආයෝජකයෙකු වන ආචාර්ය ටී. සෙන්තිල්වර්ල් මහතා පසුගිය සිකුරාදා පියවර ගත් බව පවසයි.

මෙහිදී සෙලාන් බැංකුව/සෙන්තිල්වර්ල් හෝල්ඩිංග්ස් (පෞද්) සමාගමට අයත් ඒකාබද්ධ ගිණුමක් හරහා මෙම මිලදී ගැනීම සිදු කර තිබේ.

මේ අතරින් කොටස් 176,846,291ක් කොටසක් රුපියල් 3.80ක් බැගින්ද කොටස් 3ක් රුපියල් 4.40 බැගින්ද මිලදී ගෙන තිබේ.

ඒ අනුව මෙම ගනුදෙනුවේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 672ක් ලෙස සටහන්ව තිබේ.

මෙම මිලදී ගැනීමට පෙරාතුව ටී. සෙන්තිල්වර්ල් මහතා සතුව අමානා බැංකුවෙහි කොටස් 92,268,826ක් හිමිව තිබූ බවත් අනාවරණය වී ඇත.

ඒ අනුව අලුතින් මිලදී ගත් කොටස් 176,846,291ත් සමගින් ඒ මහතා සතුව ඇති අමානා බැංකුවෙහි සමස්ත කොටස් ප්‍රමාණය 269,115,120ක් බවට පත්ව තිබේ.

මෙහිදී සෙන්තිල්වර්ල් මහතා විසින් මිලදී ගෙන ඇත්තේ අමානා බැංකුවෙහි කොටස් 259,884,351ක හිමිකාරීත්වයක් පැවැති හුසේන් අහමඩ් ඉස්මායිල් මහතා විසින් අලෙවි කළ කොටස් ප්‍රමාණයක් බවද සඳහන් වෙයි.

පසුගිය නොවැම්බර් මාසයේදී නිකුත් වුණු 2021 සැප්තැම්බර් 30 වැනිදා වන විට අමානා බැංකුවෙහි කොටස් හිමිකාරීත්වයෙන් 9.99%ක් ඉස්මායිල් මහතා වෙත හිමිව තිබුණි.

ඒ අනුව මෙම මිලදී ගැනීමත් සමගින්ම ටී. සෙන්තිල්වර්ල් මහතා සතුව අමානා බැංකුවෙහි සමස්ත කොටස් හිමිකාරීත්වය 10%ක් ඉක්මවන අතර, ඒ සමගම ඔහු සමාගමෙහි දෙවැනි විශාලතම කොටස් හිමිකරුවා බවට පත්ව තිබේ.

2021 සැප්තැම්බර් 30 වැනිදා වන විට අමානා බැංකුවෙහි වැඩිම කොටස් හිමිකාරීත්වය IB Growth Fund (Labuan) LLP වෙත හිමිව තිබූ අතර එය කොටස් 615,242,015ක් එනම් 23.65%ක ප්‍රතිශතයකි.

Views: 1451