LMD නම් කළ 2020/21 මූල්‍ය වර්ෂයේ හොඳම කාර්ය සාධනයක් පෙන්නූ ලැයිස්තුගත සමාගම්

මෙරට මුල් පෙළේ ව්‍යාපාරික සඟරාවක් වන LMD සඟරාව මගින් 2020/21මූල්‍ය වර්ෂය සඳහා නම් කළ හොඳම කාර්යසාධනයක් දැක්වූ ලැයිස්තුගත සමාගම් ඇතුළත් LMD100 අතරින් ප්‍රධාන අංශ 10ක් යටතේ ඉහළම කාර්යසාධනයක් පෙන්නුම් කළ ලැයිස්තුගත සමාගම් පසුගියදා ප්‍රසිද්ධියට පත් කෙරිණි.

ඒ අනුව මෙහිදී ආදායම, බදු පසු ලාභය, සමස්ත වත්කම්, කොටස්හිමිකරුවන්ගේ අරමුදල්, වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය, ලාභ ආන්තිකය, වත්කම් මත ප්‍රතිලාභ, කොටස් මත ප්‍රතිලාභ, වත්කම් උපයෝගීතාව මෙන්ම සේවකයන් සංඛ්‍යාව යන අංශ 10 යටතේ මෙලෙස සමාගම් වර්ග කර තිබුණි.

එහිදී ආදායම අතින් හොඳම කාර්ය සාධනයක් පෙන්නුම් කළ සමාගම බවට හේලිස් පීඑල්සී නම් කෙරී තිබේ. එම ආදායම රුපියල් බිලියන 241.28 කි. හේලීස් සමාගම සඳහන් කරන ආකාරයටද එය එතෙක් මෙතෙක් එම සමූහය ලැබූ ඉහළම ආදායමද වෙයි.

බදු පසු ලාභය යටතේ ඉහළම කාර්යසාධනය පෙන්නුම් කළ සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම නම් කෙරී ඇත. එම ලාභය රුපියල බිලියන 53.19කි.

සමස්ත වත්කම් යටතේ හොඳම සමාගම බවට කොමර්ෂල් බැංකුව පත් වී තිබේ. එම වත්කම් ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 1.762කි.

එසේම කොටස්හිමිකරුවන්ගේ අරමුදල් යටතේ හොඳම කාර්යසාධනය ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම නම් කෙරී ඇත. එය රුපියල් බිලියන 226.15කි.

එසේම ලාභ ආන්තිකය, වත්කම් මත ප්‍රතිලාභ හිමි කරගැනිම මෙන්ම කොටස් මත ප්‍රතිලාභ හිමිකරගැනීම යටතේ 2020/21 මූල්‍ය වර්ෂය සඳහා වන ඉහළම කාර්ය සාධනය පෙන්නුම් කර ඇත්තේ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී සමාගමයි.

මීට අමතරව වත්කම් උපයෝගීතාව යටතේ හොඳම කාර්යසාධනය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් විසින් පෙන්නුම් කර තිබේ. සේවක සංඛ්‍යාව යටතේ හොඳම පෙන්නුම් කළ සමාගම බවටද හේලීස් පීඑල්සී නම් වී ඇත.

Visits: 556