“චීනය අපේ කල්‍යාණ මිතුරෙක්. අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නැහැ” – අගමැති මහින්ද

“චීනය අපේ කල්‍යාණ මිත්‍රයෙක්. ඉතිහාසයේ කොතැනකවත් අපි අතරේ සිත් පළුඳු වීම් වෙලා නෑ” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් පිරීම සහ සුප්‍රකට රබර් සහල් ගිවිසුමට වසර 70ක් පිරීම නිමිත්තෙන් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාගේ සහභාගීත්වයෙන් යුතුව කොළඹ වරාය නගරයේ පැවැති උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා ඊයේ (09) මේ බව සඳහන් කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහත්වරු මෙහි දී කොළඹ වරාය නගරයේ සැහැල්ලු යාත්‍රාංගණය ඉදිරිපස පිහිටි පදික මං තීරුව මහජනතාව සඳහා විවෘත කළහ.

මෙම පදික  මංතීරුව වෙත පාගමනින් පැමිණීමට මහජනතාවට අවස්ථාව හිමිවන අතර ගාලු මුවදොර පිටිය කෙළවර ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මේ සඳහා තාවකාලික පිවිසුම් දොරටුවක් ඉදිකර ඇත.

පදික මංතීරුව අවසානයේ ඉදිකර ඇති ආරුක්කු හැඩති ලෝහමය එල්ලෙන පාලම දක්වා මහජනතාවට ගමන් කළ හැකි අතර දිනපතා පෙරවරු 9.00  සිට පස්වරු 6.00 දක්වා එහි රැදී සිටීමට ද අවස්ථාව හිමි වේ.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වලට වසර 65ක් සපිරීම වෙනුවෙන් “ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව රුවල් ඔරු ශූරතාවලිය” ආරම්භ කිරීම ද මෙයට සමඟාමීව සිදුවිය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා එක්ව ඇරඹි මෙම ශූරතාවලියේ ශූරතා කුසලානය චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා විසින් මෙහි දී තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට පිරිනැමුවේය.

අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහි දී 65 සළකුණු කළ “ශ්‍රී ලංකා-චීන මිත්‍රත්ව රුවල් ඔරු ශූරතාවලිය”ට අදාළ සමරු ටී ෂර්ටයක් චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතාට තිලිණ කළේය.

කොළඹ වරාය නගරයේ පැවැති මෙම උත්සවයට ක්‍රීඩාශීලීත්වය එක්වීම දෙරටේම නියෝජිතයන්ගේ පැසසුමට ලක්විය.

Visits: 77