ඉතිහාසයේ පළමුවරට ASPI ඒකක 10,000 සීමාවට ළගා වෙයි

අද (ඔක්තෝබර් 22) දිනයේදීද කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදීම පෙන්නුම් කළ සාර්ථකත්වයත් සමගින්ම සියලු කොටස් මිල දර්ශකයත් ඉතිහාසයේ පළමුවරට ඒකක 10,000ක මට්ටමට ළගා විය. එහෙත් පසු අවස්ථාවේදී ආයෝජකයන් ලාභ ඉපැයීම් වෙත යොමුවීමත් සමගින්ම දර්ශක අගයන් පහත වැටීම සිදු විය. විශේෂයෙන්ම කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී තුළදී මෙම තත්ත්වය වැඩි වශයෙන් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි.

මේ අතර අද දිනය තුළදී EXPO ඇතුළුව තවත් වටිනා කොටස් සහිත සමාගම් සඳහා වන ආයෝජක ආකර්ශනයද කැපී පෙනෙන ඉහළ යාමක් දැකගත හැකි වූ බවද එම සමාගම් සඳහන් කරයි. ඒ අනුව ඉහළ ප්‍රාග්ධනීකරණයක් සහිත ප්‍රධාන සමාගම් දර්ශකය තවදුරටත් ශක්තිමත් කිරීමටද එය හේතුවක් වී තිබේ.  

ඒ අනුව අද දිනයේදී ඒකක 9,881.50 ඒකක 10,001.58ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 9,915.22ක් බවට පත්විය. එය ඊයේ (ඔක්තෝබර් 21) දිනයට සාපේක්ෂව ඒකක 33.72ක් එනම් +0.34%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදු කළ සාකච්ඡාවලට අනුව මෙල්ස්ටාකෝර්ප්, කාර්ගිල්ස් සිලෝන් පීඑල්සී සහ රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු පිරිවැටුමෙන් 1.6%ක් සඳහා දායක වී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 112ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 82ක මිල ගණන් පහළ ගොස් ඇත.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+32.9), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (+10.1), හේලීස් පීඑල්සී HAYL (+5.00), රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී RCL (+4.7), බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (+3.2), කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී CLC (-42.9), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (-5.3), ජෝන්කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-4.4), එල්ඕඑල්සී ෆිනෑන්ස් පීඑල්සී LOFC (-3.5), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-1.9) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,605.72ක අගයක් ගත් අතර, එය ඊයේ (ඔක්තෝබර් 21) ‍ට සාපේක්ෂව ඒකක 33.02ක එනම් +0.92%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 4.46ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (ඔක්තෝබර් 21) වාර්තා කළ රුපියල් බිලියන 4.26 ට  සාපේක්ෂව 4.5% ක ඉහළ යාමකි. එහිදී විදෙස් ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 4.42ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 49.24%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 63.41ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 171.92ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 108.51කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 45.54ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය රෝයල් සෙරමික්ස් ලංකා පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 32.5 කි. එසේම මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 57.88ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,066ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ දායකත්වය ලබා දී තිබේ. එය සමස්ත පිරිවැටුමෙන් ප්‍රතිශතයක් ලෙස 24%කි. එසේම ප්‍රවාහන සහ විවිධාංගීකරණය වූ මූල්‍ය සමාගම් දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 815ක සහ රුපියල් මිලියන 725ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 407