Ex-Pack මූලික කොටස් නිකුතුවට මිනිත්තු කිහිපයක් ඇතුළත අධි ඉල්ලුමක්

Ex-Pack Corrugated Cartons සමාගම අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුව තුළ විවෘත කළ රුපියල් මිලියන 700 ක් වටිනා මූලික මහජන කොටස් නිකුතුවට මිනිත්තු කිහිපයක් ඇතුළතදී අධි ඉල්ලුමක් හිමි වූ බව එම සමාගම පවසයි.

ඒ අනුව සමාගම මගින් අපේක්ෂිත ප්‍රාග්ධනය ඉතාමත් කෙටි කලකදී ඉක්මවා යාමට සමත්කමක් දක්වා තිබූ අවස්ථාවක් ලෙස මෙය සඳහන්ව තිබේ.

මේ සමගම අදාළ මූලික මහජන කොටස් නිකුතුව (අද) පස්වරු 4.30 ට අවසන් කිරීමටද සමාගම මගින් තීරණය කර තිබුණි.

මෙම මූලික කොටස් නිකුතුව කෙරෙහි ආරම්භයේ සිටම ආයෝජකයින්ගේ සුවිශේෂී උනන්දුවක් පැවති බව මෙම අධි ඉල්ලුමට හේතු වූ බව මෙම නිකුතුවේ සම කළමනාකරුවන් වන Capital Alliance සහ Asia Securities යන සමාගම් අදහස් දක්වමින් කියා සිටියි.

මෙහි දී  රැස් කරන ලද රුපියල් මිලියන 700ක ප්‍රාග්ධනයත් සමගින් රුපියල් බිලියන 3 ක් නිෂ්පාදන අංශයේ සංවර්ධනය සඳහා යෙදවීමට නියමිතව ඇතැයි Ex-Pack සමාගම පවසයි.

එමගින් දැනට මෙට්‍රික් ටොන් 2650 ක් ලෙස පවතින නිෂ්පාදන ධාරිතාව 2025 වසර වන විට මෙට්‍රික් ටොන් 4,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි.

එමෙන්ම තම ආයෝකයින්, පාරිභෝගිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීමට Ex-Pack Corrugated Cartons සමාගම කැපවන බව අවධාරණය කර සිටියි.

Visits: 658