LOLC Ceylon Holdings ණයකර නිකුතුවට විදේශීයව කිසිදු ඉල්ලුම්පත්‍රයක් ලැබී නෑලු

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි LOLC Ceylon Holdings Ltd. සමාගම මගින් පසුගිය සැප්තැම්බර් 29 වැනිදා කොළඹ  කොටස් හුවමාරුවෙහිදී විවෘත කරන ලද ණයකර නිකුතුව සඳහා කිසිදු විදේශීය ජාතිකයෙකුගෙන් හෝ විදෙස් රටක පදිංචිකරුවෙකුගෙන් ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත්ව නැතැයි එම සමාගම පවසයි.

මෙම ණයකර නිකුතුව යටතේ සමාගමෙහි ණයකර කොටස් මිලියන 10ක් නිකුත් කිරීම සිදු විය. 2021/23 වසර දක්වා වසර දෙකක කාලයකින් කල් පිරෙන ලෙස සිදු වුණු මෙම නිකුතුවේදී එක් ණයකර කොටසක් රුපියල් 100 බැගින් මිල කෙරිණි.

ඒ අනුව සමස්ත නිකුතුවෙහිම වටිනාකම රුපියල් බිලියන 1ක් වූ බව LOLC Ceylon Holdings Ltd. සමාගම සඳහන් කරතිබුණි.

මෙහිදී එම නිකුතුව විවෘත කෙරුණු සැප්තැම්බර් 29 වැනිදාම එයට අධි ඉල්ලුමක් සමගින් නිමාවට පත් වූ බව සමාගම අනාවරණය කර තිබුණි.

ඒ අනුව මෙහිදී ණයකර කොටස් මිලියන 10.4ක් (10,487,700ක්) මිලදී ගැනීම සඳහා ඉල්ලුම් පත්‍ර ඉදිරිපත්ව ඇති අතර, එහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.048ක් (1,048,770,000ක්) බවද LOLC Ceylon Holdings Ltd. සමාගම සඳහන් කරයි.

මෙහිදී ක්‍රමෝපායික වශයෙන් වැදගත් ආයතනික ආයෝජකයන් වෙත ණයකර කොටස් මිලියන 4.5ක් (4,500,000ක්) වෙන් කෙරෙන බවත්, ඉතිරි ණයකර අනෙකුත් ආයෝජකයන් වෙත බෙදා හැරෙන බවත් LOLC Ceylon Holdings Ltd. සමාගම පවසයි.

“මෙම ණයකර නිකුතුව සඳහා කිසිදු විදේශීය ජාතිකයෙකු හෝ විදේශයක පදිංචි පුද්ගලයෙකු ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර නැත.” යනුවෙන්ද සමාගම සඳහන් කරයි.

ඒ අනුව මෙම ණයකර නිකුතුව මිලදී ගැනීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ දේශීය ආයතනික ආයෝජකයන් සහ තනි පුද්ගල ආයෝජකයන් බව හඳහන් වෙයි.

ඉදිරියේදී LOLC සමූහයට අයත් මූල්‍ය සමාගම් කිහිපයක කොටස් එක් කරමින් මෙම LOLC Ceylon Holdings Ltd. සමාගම කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිරීමටද සූදානමින් සිටින බව එම සමාගම පවසයි.

Views: 496