පොල් හිඟවීමෙන් Bounty චොකොලට් බාර් නිෂ්පාදනයට බාධා

ලොව සුප්‍රසිද්ධ චොකලට් නිෂ්පාදන සමාගමක් වන Mars සමාගමේ ඉහළ අලෙවියක් පවතින නිෂ්පාදනයක් වන Bounty චොකොලට් බාර් නිෂ්පාදනය අඩපණවීමේ අවදානමක් පවතින බව එම සමාගම සඳහන් කරයි.

එම නිෂ්පාදන සඳහා අවශ්‍ය වන පොල් පතුරු (Coconut Flakes) ඇතුළු අමුද්‍රව්‍යවල හිඟතාව මේ සඳහා හේතුව වී ඇතැයි සඳහන් වෙයි. එසේම එක්සත් රාජධානිය ඇතුළු අනෙකුත් යුරෝපා රටවල පවතින සැපයුම් දාම අර්බුදයද මේ සඳහා හේතුව වී ඇත.

මෙම චොකලට් බාර් තුළ ඇති කුඩාවට සකස් කරන ලද පොල් පතුරු Bounty සතු සුවිශේෂත්වය වෙයි.

කෙසේ වෙතත් මේ වසරේදී එම නිෂ්පාදන සඳහා ලැබෙන පොල් ප්‍රමාණය අඩු වී ඇත.

විශේෂයෙන්ම ලෝකයේ දෙවැනි විශාලතම පොල් නිෂ්පාදකයා වන පිලිපීනය වෙත බලපෑ දරුණු සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් එහි පොල් ගස් මිලියන 49ක් පමණ විනාශවීයාම ඊට බලපා තිබේ.

ඒ අනුව අද වනවිට ඉතාමත් දුර්වල පොල් ඵලදාවක් හිමිවන අතර, මෙම සිදුවීමෙන් හටගත් අලාභය මඟහරවා ගැනීම සඳහා තවත් වසර දෙකක් හෝ තුනක් ගත වනු ඇති බවත් සඳහන් වෙයි.

දැනටමත් Mars සමාගම සිය රුසියානු ගනුදෙනුකරුවන් වෙත මෙම Bounty චොකොලට් බාර් නිෂ්පාදනය අඩපණවීමේ හැකියාවක් පවතින බව දැනුම් දී තිබේ. රුසියාව තුළ මෙම Bounty චොකලට් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින බව සඳහන් වෙයි.

Visits: 264