ඉල්ලුමේ අඩපණවීම් ලංකා අශෝක් ලේලන්ඩ් ආදායම් 56%කින් අඩුකිරීමට හේතුවෙලා

ලංකා ආශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමේ ආදායම 2020/2021 මූල්‍ය වර්ෂයේදී 56%කින් අඩුවීම සඳහා වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය හේතුවෙන් එම කාලසීමාවේදී මෝටර් රථ සඳහා පැවැති ඉල්ලුමේ අඩපණවීම් හේතු වී ඇතැයි එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම් පවසයි.

ඊයේ (27දා) නිකුත් වුණු ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමේ 2020/21 වාර්ෂික මූල්‍ය වාර්තාව වෙත අදහස් දැක්වීමක් සිදුකරමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම මූල්‍ය වාර්තාව සඳහන් කරන ආකාරයට 2020/21 මූල්‍ය වර්ෂය තුළදී ලංකා අශෝක් ලේලන්ඩ් සමාගම ලබා ඇති ආදායම රුපියල් බිලියන 2.9කි. එහෙත් 2019/20 මූල්‍ය වර්ෂයේදී සමාගම රුපියල් බිලියන 6.7ක ආදායමක් හිමි කරගෙන ඇත.

“දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් නිසා අපගේ වාණිජ මෝටර් රථ සහ ඩීසල් ජෙනරේටර් උපාංග අලෙවියේ අඩුවීමක් සිදුව තිබෙනවා. ඒ වගේම සංචරණ සීමා පැනවීමත් නිසා මෝටර් රථ කුලියට ගැනීම සහ මෝටර් රථවල සංචලනයේ අඩුවීමත් නිසා මෝටර් රථ අලුත්වැඩියා කිරීම් හරහාද ලැබෙන ආදායම කැපී පෙනෙන ලෙස අඩුවී තිබෙනවා.” ඔහු පවසයි.

මෙම වාර්තාව පවසන ආකාරයට 2021 මාර්තු 31 වැනිදා අවසන් වනවිට සමාගම මගින් අලෙවි කර ඇති නව මෝටර් රථ සංඛ්‍යාව 2,518,517,907කි. එහෙත් 2020 එම කාලය වනවිට සමාගම අලුත් මෝටර් රථ 6,214,808,454ක් අලෙවි කිරීමට සමත්ව තිබේ.

එසේම 2021 මාර්තු 31 වැනිදා වනවිට සමාගම ඩීසල් ජෙනරේටර් කට්ටල 11,182,963ක් අලෙවි කර ඇති අතර, පෙර වසරේදී එය 42,788,250ක් ලෙස සටහන්ව ඇත.  

ඒ අනුව 2020/21 මූල්‍ය වර්ෂයේදී සමාගමේ බදු පසුලාභය රුපියල් මිලියන 4.5ක් ලෙස සටහන්ව ඇති අතර එය 2019/20 වර්ෂයේදී අත්පත් කරගත් රුපියල් මිලියන 103ක බදු පසු ලාභය හා සැසඳීමේදී 96%ක අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

කෙසේ වෙතත් ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගමේ අමතර කොටස් බෙදා හැරීමේ අංශය මේ වසරේදී කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර, එහිදී ආදායම පෙර වසරට සාපේක්ෂව 6%කින් එනම් මිලියන 238.2කින් ඉහළ ගොස් ඇතැයිද මෙම වාර්තාව පවසයි.

එසේම මෙම වසර තුළදී සමාගම මගින් ඇති කරගත් සාර්ථකත්වයක් ලෙස Semi-Knocked-Down තත්ත්වයෙන් ආනයනය කරන ලද ට්‍රක් රථ චැසි මෙරටදී එකලස් කිරීමේ අවස්ථාව හැඳින්විය හැකි බවද ලංකා අශෝක් ලේලන්ඩ් පීඑල්සී සමාගම පවසයි. මෙහිදී 22.5%ක දේශීය අගය එකතු කිරීමක් සිදු කිරීමට හැකි වූ බවත්, රට තුළ මෙවැනි මාදිලියේ රථ සම්බන්ධයෙන් එවැන්නක් සිදු කළ පළමු සහ එකම සමාගම බවත් පත්ව ඇති බවත් සඳහන් වෙයි.

මේ අතර මෙම අවස්ථාවේදී රට තුළ පනවා ඇති ආනයන සීමා කිරීම් සිය මෙහෙයුම් මෙන්ම මූල්‍යමය කාර්යසාධනයත් දරුණු ලෙස සීමා කිරිමට හේතු වී තිබෙන බව ප්‍රධාන විධායක නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Views: 241