ගායිකා රිහානාත් නිල වශයෙන් බිලියනපතිනියක් වෙයි

ලොව ජනප්‍රිය ගායිකා රිහානාගේ වත්කම මේ වනවිට ආසන්න වශයෙන් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.7ක් ලෙස සටහන් වන බව ෆෝර්බ්ස් සඟරාව පවසයි. ඒ අනුව අද ලොව පොහොසත්ම කාන්තා සංගීතවේදිනිය බවටත් ඇය පත්ව තිබෙන බවත්, ඇය නිල වශයෙන් බිලියනපතිනියක් ලෙස නම් කරන බවත් සඟරාව සඳහන් කරයි..

මෙලෙස ඇය ලොව පොහොසත් සංගීතවේදිනියක ලෙස හඳුනාගත්තතද, සඟරාව පවසන අකාරයට ඇගේ සංගීත නිර්මාණ  මෙම වත්කම් වර්ධනය සඳහා මූලිකවම දායක වී නැත.

ඒ අනුව ඇගේ මෙම වත්කම් අතරින් එක්සත් ජනපද ඩොලර් බිලියන 1.4ක් සඳහාම දායක වී ඇත්තේ ඇය සතුව 50%ක කොටස් හිමිකාරීත්වයක් සහිත Fenty Beauty නම්  රූපලාවන්‍ය නිෂ්පාදන සමාගමයි. ඉතිරි වත්කමෙන් එක්සත් ජනපද ඩොලර් මිලියන 270ක ප්‍රමාණයක් ඇයගේ Savage X Fenty නම් කාන්තා යට ඇදුම් නිෂ්පාදන සමාගම හරහා ලැබී තිබේ. රිහානා ඉතිරි වත්කම උපයා ගෙන ඇත්තේ සිය සංගීත නිර්මාණ සහ රඟපෑම් හරහාය.

බාර්බඩෝස්හි උපන් තැනැත්තියක වන රිහානාගේ මුල් නම Robyn Rihana Fenty ය. ඒ අනුව සිය මුල් නම අනුව යමින් ඇය 2017 වසරේදී මෙම සමාගම පිහිටුවූවාය. එහිදී ලොව සුප්‍රසිද්ධ විලාසිතා සන්නාමයක් වන LVMH හා හවුල්කාරීත්වයක් යටතේ ඇය 2019 වසරේ සිට සිය නිෂ්පාදන වෙළෙඳ පොළට නිකුත් කළාය. පළමු වසරේදී එම නිෂ්පාදන මගින් වාර්ෂිකව ඩොලර් මිලියන 550ක ආදායමක් හිමි කරගත් බව පැවසෙයි.

කෙසේ වෙතත් මේ වසර අරම්භයේදී නිවේදනයක් නිකුත් කළ LVMH සමාගම රිහානා සමගින් ඇති කරගත් එකඟතාවකට අනුව ඇගේ මෙම Fenty නිෂ්පාදන නිපදවීම අත්හිටුවීමටද තීරණයක් ගෙන තිබුණි. එහෙත් ඇගේ Savage X Fenty කාන්තායට ඇඳුම් නිෂ්පාදනය එලෙසින්ම වන බව පැවසුනි.

රිහානාගේ මෙම වත්කම් පිළිබඳ නිල සටහනත් සමගින් ඇය අද ලොව විනෝදාස්වාදන අංශයෙහි කාන්තාවන් අතරින් දෙවැනි ධනවත්ම කාන්තාව බවට පත්ව තිබේ. ඔප්රා වින්ෆ්‍රි එහි පළමු ස්ථානයේ පසුවෙයි.

රිහානා මේ දක්වා සිය සංගීත නිර්මාණ ඇතුළත් ඇල්බම මිලියන 250කට අධික සංඛ්‍යාවක් අලෙවි කර තිබේ. වසරකට එක් ඇල්බමයක් බැගින් නිකුත් කරන ගායිකාව ලෙස ඇය පිළිගැනීමටද ලක්ව තිබුණා. එහෙත් 2016 වසරෙන් පසුව ඇය මේ දක්වා සංගීත නිර්මාණයක් එළිදක්වා නැතැයිද පැවසෙයි.

Views: 153