පාසල් තුළ විදුලි සංදේශන සබඳතා ඉහළ දැමීමෙන් රටක දළ දේශීය නිෂ්පාදිතය වෙත 20% ක වර්ධනයක්

බ්‍රෝඩ්බෑන්ඩ් සේවා අවම රටවල පාසල් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම මගින් එම රටවල දළ දේශීය නිෂ්පාදිතය 20% කින් වර්ධනයකර ගැනීමේ හැකියාව පවතින බව Ericsson සමාගම විසින් අනුග්‍රාහකත්වය ලබා දෙන ලද ආර්ථික බුද්ධි ඒකකයේ (EIU) වාර්තාවක් (NASDAQ: ERIC) මගින් පෙන්වා දෙයි.

වසංගත තත්ත්වය හේතුවෙන් වර්තමානයේ අධාපන පද්ධතිවලට දැවැන්ත බලපෑමක් ඇති වී තිබේ. වසංගත තත්ත්වය හේතුවෙන් ලොව පුරා රටවල් 190 කට අධික ප්‍රමාණයක ජාතික මට්ටමින් පාසල් වසා දැමීමට සිදු වී තිබීමෙන් ඒ බව වඩාත් පැහැදිලි වේ. මෙම කාලය තුළ ලොව පුරා පාසලෙන් පිටත අධ්‍යාපනය ලබන බිලියන 1.6 ක් වූ සිසුන් සංඛ්‍යාව අතරින් අවම වශයෙන් මිලියන 100 කගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි වූයේ නිවසේ අන්තර්ජාල සබඳතා හේතුවෙනි.

පාසල් තාවකාලිකව වසා දැමීමට සිදුවීමත් සමග, ඉගෙනුම් කටයුතුවලට සහයෝගයක් ලෙස මෙන්ම අධ්‍යාපනික සහ ඩිජිටල් බෙදීම නතර කිරීමේ අවස්ථාවක් ලෙස ද පාසල් තුළ අන්තර්ජාල සබඳතා ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අදහස වඩාත් ඉස්මතු වී තිබේ.

මනා අධ්‍යාපනයක් ලද ශ්‍රම බලකායක් නවෝත්පාදනය සහ නව අදහස් උත්පාදනය කිරීමට වැඩි ඉඩක් පවතින අතර එමගින් ආර්ථික සංවර්ධනයට සහ රැකියා නිර්මාණයට මග පෑදේ. පාසල් තුළ අන්තර්ජාලයට ප්‍රවේශ වීමේ අවස්ථාව ලබා දීම හරහා ඉගෙනුම් ක්‍රම සහ කුසලතා වැඩිදියුණු කර ගැනීමට සිසුන් හට සමාන අවස්ථා හිමි වේ. එහි ප්‍රතිඵලයක් ලෙස නව වෘත්තීය ගමන් මාර්ගවලට මෙන්ම වඩාත් උසස් ජීවන රටාවක් සඳහා දොරටු විවරවන අතර එමගින් තනි පුද්ගලයන්ට සහ සමස්තයක් ලෙස සමාජයට ප්‍රතිලාභ හිමි වේ.

ලෝක ආර්ථික සමුළුවේ ගෝලීය තරගකාරී දර්ශකය (2017) මෙන්ම ලෝක බැංකුවේ මානව ප්‍රාග්ධන දර්ශකය (2017) ද අන්තර්ජාලයට ඇති ප්‍රවේශය සහ අධ්‍යාපනයේ ගුණාත්මකබව අතර පැහැදිලි සම්බන්ධතාවක් ඇති බව පෙන්වා දෙයි. ආර්ථික බුද්ධි ඒකකයේ විශ්ලේෂණයෙන් පෙන්වා දෙන්නේ, රටක පාසල්වල අන්තර්ජාල සබඳතා වැඩිවන සෑම 10% ක් පාසා එම රටේ දළ දේශීය නිෂ්පාදිතය 1.1% කින් වර්ධනය වන බවය.

වසර ගණනක් පුරා ගෝලීය අන්තර්ජාල භාවිතය කැපී පෙනෙන අයුරින් ඉහල ගොස් ඇති නමුත් 2005 වසරේ 17% ක් ව පැවති අන්තර්ජාල භාවිතය 2021 වසරවන විටත් පවතින්නේ 50% ක මට්ටමකවන අතර එය සෑම කලාපයකට ම පොදු අගයක් ද නොවේ. බටහිර අප්‍රිකානු රාජ්‍යයක්වන නයිගර් පිළිබඳ සැලකීමේදී ඉහත වාර්තාව පෙන්වා දෙන්නේ පින්ලන්තයේ මට්ටමට පාසල්වල අන්තර්ජාල සබඳතා ශක්තිමත් කිරීම මගින් එම රටේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 20% කට ආසන්න ප්‍රමාණයකින් වර්ධනය කළ හැකි බවය. එනම්, මේවන විට ඇමරිකානු ඩොලර් 550 ක් වන බිම් මට්ටමේ පුද්ගලයෙකුගේ දළ දේශීය නිෂ්පාදිතය 2025 වන විට ඇමරිකානු ඩොලර් 660 ක් ලෙස වර්ධනය කළ හැකි බවය.

වෙනසක් ඇති කිරීම සඳහා ඉහත වාර්තාව ප්‍රධාන කරුණු හතරක් කෙරෙහි අවධානය යොමු කරයි:

1.     සහයෝගිතාව අතිශය වැදගත්ය: පාසල් තුළ අන්තර්ජාල පහසුකම් වර්ධනය කිරීමේ ප්‍රයත්නයට පවතින බාධා ජය ගැනීම සඳහා පාර්ශ්වකරුවන් සමග සම්බන්ධීකරණය කිරීමට පරිපූර්ණ රාජ්‍ය/පුද්ගලික සහයෝගිතා ක්‍රමෝපායික සැලසුමක් අවශ්‍යය.

2.     ප්‍රවේශය සහ දැරිය හැකි වීම: අන්තර්ජාලය සඳහා ප්‍රවේශය ලබා දීමට යටිතල පහසුකම් ගොඩනැගීම ආරම්භක පියවරක් ලෙස වැදගත් වුවත්, සබඳතාවයේ ගුණාත්මකබව සහ පිරිවැය ද වැදගත් සාධක වේ.

3.     අන්තර්ජාලය සහ ඩිජිටල් මෙවලම් අධ්‍යාපනයට සම්බන්ධකර ගැනීම: පාසල් තුළ අන්තර්ජාල පහසුකම් ශක්තිමත් කළ පසු එය විෂය මාලාවට බද්ධකර ගත යුතුය. එදිනෙදා ඉගැන්වීම් කටයුතු සඳහා තාක්ෂණය සම්බන්ධකර ගැනීම පිළිබඳ ගුරුවරුන් පුහුණු කළ යුතුය.

4.     අන්තර්ජාලයෙන් දරුවන් ආරක්ෂාකර ගැනීම: පාසල් තුළ අන්තර්ජාල පහසුකම් ශක්තිමත් කිරීම මගින් දරුවන් හට අවස්ථා හිමි වේ. කෙසේවෙතත් ඔවුන් හට සුරක්ෂිත සහ සෞඛ්‍යසම්පන්න අන්තර්ජාල ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීම සඳහා අමතර පියවර ගත යුතුය. සුරක්ෂිත අන්තර්ජාල භාවිතාවක් තහවුරු කිරීම සඳහා අන්තර්ජාල භාවිතය නිසි පරිදි කළමනාකරණය කළ යුතුය.

රාජ්‍ය, පුද්ගලික අංශ සහ රාජ්‍ය නොවන සංවිධාන එක්ව කටයුතු කිරීම මගින් සියලු වයස් කාණ්ඩවල පාසල් ළමුන් සඳහා අන්තර්ජාල සබඳතා ගෝලීය යතාර්ථයක් බවට පත් කළ හැකි බව ද එම වාර්තාව නිර්දේශ කරයි. ඔවුන් එක්ව කටයුතු කිරීම මගින් ඩිජිටල් බෙදීම අවම කිරීමට සුවිශාල බලපෑමක් ඇති කළ හැකි බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

ඒ අනුව UNICEF සංවිධානය සහ අන්තර්ජාතික විදුලි සංදේශන සංගමය ආරම්භකර ඇති Giga වැඩසටහනට අරමුදල් ලබා දීම, දත්ත හුවමාරුකර ගැනීම, තාක්ෂණික විශේෂඥතාව ලබා දීම සහ අන්තර්ජාල පහසුකම් සඳහා තිරසර ව්‍යාපාරික මොඩල යළි සකස් කිරීම ආදී ක්‍රියාකාරකම් සමගින් දායකත්වය ලබාදෙන ලෙස Ericsson සමාගම එම සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටී. Ericsson සමාගම රටවල් 35 කට අධික සංඛ්‍යාවක පාසල්වල අන්තර්ජාල සබඳතා පරතරය හඳුනා ගැනීම සඳහා UNICEF සංවිධානය සමග වසර තුනක හවුල්කාරිත්වයකට එළඹ ඇත.

Ericsson සමාගමේ මූලිකත්වයෙන් නිකුත් කෙරුණු සිසුන් සම්බන්ධ කිරීම: අධ්‍යාපනික බෙදීම අඩු කිරීම යන ආර්ථික බුද්ධි ඒකකයේ වාර්තාව 2030 වසරවන විට සියලු පාසල් සහ එම පාසල් අවට ප්‍රජාව අන්තර්ජාලය හරහා සම්බන්ධ කිරීමේ Ericsson සමාගමේ විශ්වාසය සහ Giga වැඩසටහනේ ඒකායන අරමුණ සාක්ෂාත් කරගත හැකි ඉලක්කයක් බව තහවුරුකර ඇත.

Ericsson සමාගමේ තිරසාරත්ව සහ ආයතනික වගකීම් අංශයේ උප සභාපතිනී හීතර් ජොන්සන් මහත්මිය, “Giga වැඩසටහන ප්‍රකාශයට පත් කිරීමත් සමග අප එමගින් රටවල් අතර ඩිජිටල් බෙදීම අවම කිරීමටත්, ළමුන් හට සුබවාදී සහ යහපත් අනාගතයක් සහිත ලොවක් උරුමකර දීම සඳහාත් එම වැඩසටහනට ඇති හැකියාව දුටුවා,” යනුවෙන් සඳහන්කර සිටී.

“ව්‍යාපාරික නායකයින්, රාජ්‍ය අංශයේ ප්‍රධානීන් සහ රාජ්‍ය නොවන සංවිධාන අත්වැල් බැඳ ගැනීම මගින් මෙම ගැටලුවට විසඳුම් ලබා දීමටත්, ජීවිතවලට කැපීපෙනෙන බලපෑමක් ඇති කිරීමටත් හැකි බව එම වාර්තාව පැහැදිලිව පෙන්වා දී තිබෙනවා. මෙම ක්ෂේත්‍රවල නියැලී සිටින ලොකු-කුඩා ඕනෑම පාර්ශ්වයකට මෙම වෙනස ඇති කළ හැකියි. මෙම වාර්තාව කියවා Giga වැඩසටහන සමග සම්බන්ධ වී මෙම වැදගත් ඉලක්කය සාක්ෂාත්කර ගැනීමට දායකත්වය ලබාදෙන ලෙස අප පාර්ශවකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා,” යනුවෙන් ඇය වැඩිදුරටත් ප්‍රකාශකර සිටී.

UNICEF සංවිධානයේ හවුල්කාරිත්ව අංශයේ නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂිකා චාලට් පෙට්‍රි-ගෝනිට්ස්කා මහත්මිය සඳහන්කර සිටින්නේ, තම සංවිධානය ප්‍රජාව තුළ ඇති සබඳතා පරතරය හඳුනා ගැනීම සඳහා ලොව පුරා පාසල් අනුරූපණය කිරීමට එක්ව කටයුතු කරමින් සිටින බවය. සෑම දරුවෙකුට ම සහ තරුණ-තරුණියකට ම යහපත් අනාගතයකට හිමිකම් කීම සඳහා පාසල් සම්බන්ධ කිරීම හා ගුණාත්මක ඩිජිටල් ඉගෙනුම් පරිසරයක් ගොඩනැගීම වෙනුවෙන් සියලු අංශ එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශකර සිටී.

වාර්තාව
වැඩිදියුණු කළ අධ්‍යාපනික ප්‍රතිඵල ලබා ගැනීමටත්, දරුවන් සඳහා පුළුල් වෘත්තීය අවස්ථා හිමිකර දීමටත්, එමගින් උසස් ආර්ථික ක්‍රියාකාරකමක් සහ ප්‍රජා සංවර්ධනයක් අත්කර ගැනීමටත් පාසල් අන්තර්ජාල පහසුකම්වලින් ශක්තිමත් කිරීම උපකාරීවන ආකාරය ආර්ථික බුද්ධි ඒකකයේ වාර්තාව පෙන්වා දෙයි. මෙම පුද්ගලික මට්ටමේ ප්‍රතිලාභ වර්ධනය වීමට සාපේක්ෂව ඉහල ආදායම්, යහපත් සෞඛ්‍යය සහ සමස්ත යහපැවැත්මේ වර්ධනය ද ඉහල යන බව ද එම වාර්තාව පෙන්වා දෙයි. මෙම ප්‍රතිලාභ දරුවන්ගෙන් ඔබ්බට යමින් පුළුල් ප්‍රජා සංවර්ධනය සහ ආර්ථික වර්ධනයට ද මග පාදයි.

පාසල් අන්තර්ජාල පහසුකම්වලින් ශක්තිමත් කිරීම හරහා හිමිකර ගත හැකි තවත් ප්‍රතිලාභ කිහිපයක් පිළිබඳ ද මෙම වාර්තාවේ සඳහන් වෙයි:

  • අධ්‍යාපනයේ ගුණාත්මකබව වැඩිදියුණු කිරීම
  • Blockchain, big data, යාන්ත්‍රික ඉගෙනුම් සහ කෘත්‍රිම බුද්ධිය ආදී නැගී එන ක්ෂේත්‍ර සඳහා ප්‍රවේශය පුළුල් වීම
  • නවෝත්පාදනය සහ නවීන අදහස්වලින් අනූන ඵලදායී ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම
  • රැකියා උත්පාදනය
  •  ප්‍රජා සංවර්ධනය
  • ආර්ථික වර්ධනය සහ සංවර්ධනයට මග පැදීම

මෙම වැඩසටහන පිළිබඳවත් Giga වැඩසටහනට සම්බන්ධ විය හැකි ආකාරය පිළිබඳවත් වැඩිදුර විස්තර සඳහා www.gigaconnect.org වෙත පිවිසෙන්න.

Visits: 136