SDB බැංකුවේ දෙවැනි මහජන කොටස් නිකුතුව අද (05දා)

සණස සංවර්ධන බැංකුව (SDB) සිදු කිරීමට සැලසුම් කර ඇති සිය දෙවැනි මූලික කොටස් නිකුතුව (SPO) අද දිනයේදී ලැයිස්තුගත කිරීමට නියමිතව තිබේ.  

ඒ අනුව අද දිනයේදී පළමු නිකුතුව ලෙස බැංකුවෙහි සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 68ක් (68,000,000ක්) ලැයිස්තුගත කිරීම සිදුවන අතර, ඊට හිමිවන අධි ඉල්ලුමත් සමගින් දෙවැනි අවස්ථාව ලෙස තවත් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 20ක් (20,000,000ක්) නිකුත් කිරීම සැලසුම බව SDB බැංකුව සඳහන් කරයි.

මෙහිදී එක් කොටසක් රුපියල් 51.50ක් බැගින් මිල කෙරී ඇති අතර, සමස්ත නිකුතුව හරහා සිදු කරන කොටස් 88,000,000 නිකුතුවෙහි සමස්ත වටිනාකම රුපියල් බිලියන 4.533ක් වන බවත් බැංකුව පවසා තිබේ.

ඒ අනුව පළමු ලැයිස්තුගත කිරීමෙන් රුපියල් බිලියන 3.5ක් (3,502,000,000ක්) සහ දෙවැනි ලැයිස්තුගත කිරීමෙන් රුපියල් බිලියන 1.0ක් (1,030,000,000ක්) රැස් කරගැනීම අරමුණ බව සඳහන් වෙයි.

මේ අතර සණස සංවර්ධන බැංකුවෙහි මෙම දෙවැනි මහජන කොටස් නිකුතුවෙන් අනතුරුව සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් ප්‍රමාණය අතරින් 10%ක් අත්පත් කරගැනීමට සංවර්ධන වෙමින් පවතින රටවල් සඳහා වන බෙල්ජියානු ආයෝජන සමාගමක් (BIO – Belgian Investment Company for Developing Countries) කැමැත්ත පළ කර ඇතැයි එම බැංකුව පසුගියදා අනාවරණය කර තිබුණි.

මෙම දෙවැනි මහජන කොටස් නිකුතුව සම්බන්ධයෙන් SDB බැංකුවෙහි නවතම වාර්ෂික වාර්තාවට අදහස් දක්වා සිටි එහි සභාපති ලක්ෂ්මන් අබේසේකර මහතා, “මෙම නිකුතුව හරහා හිමිවන ප්‍රාග්ධන පදනම ICRA Lanka වර්ගීකරණ ආයතනය සහ Fitch Ratings ආයතනය මගින් බැංකුව සඳහා නිකුත් කර ඇති BBB- වර්ගීකරණය සහ BB- වර්ගීකරණ මට්ටම් එලෙසින්ම රඳවාගෙන යාමට හැකියාව ලැබේවි. එය 2020 වසරේ සාර්වආර්ථික කඩාවැටීම්වලට එදිරිව යමින් බැංකුවෙහි මූල්‍යමය ස්ථාවරත්වය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් වේවි.” යනුවෙන් සඳහන් කර තිබේ.

Visits: 96