2021 වඩාත් වටිනාම පාරිභෝගික සන්නාම 10

ලොව පවතින සමාගම් සතු සන්නාම පිළිබඳව වාර්ෂිකව වර්ගීකරණයක් ඉදිරිපත් කරන ජාත්‍යන්තර ආයතනයක් වන බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්හි ශ්‍රී ලංකා ආයතනය ‘බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් ශ්‍රී ලංකා’ මගින් 2021 වසර සඳහා වන ශ්‍රී ලංකාවේ සන්නාම ඇතුළත්  “ශ්‍රී ලංකාවේ වඩාත් වටිනාම පාරිභෝගික සන්නාම 100 – Most Valuable Consumer Brands 100”  පසුගියදා එළිදක්වා තිබේ.

මෙම සන්නාම මගින් අදාළ වර්ෂයේදී හිමි කරගෙන තිබෙන වටිනාකම් (රුපියල් මිලියන අගය අනුව) ගලපමින් මෙම වටිනාම පාරිභෝගික සන්නාම වර්ගීකරණය කර තිබේ. එසේම අදාළ සන්නාම සතු ශක්තිමත් බව පෙන්වීම සඳහා 2021 වසරේදී බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් මගින් ලබා දෙන සන්නාම වර්ගීකරණයක්ද ඇත.

ඒ අනුව මේ සන්නාම 100 අතරින් වඩාත් වටිනාම පාරිභෝගික සන්නාම 10 මෙහි දක්වා තිබේ. එහිදී සන්නාම හයක්ම බැංකු නියෝජනය කරන අතර, සන්නාම දෙකක් දුරකතන සන්නිවේදන නියෝජනය කරයි. එසේම සන්නාම දෙකක් සිල්ලර (සුපිරි වෙළෙඳ සැල්) යටතට අයත් වෙයි.

ඒ අනුව 2021 වසරේදී මෙරට වඩාත් වටිනාම පාරිභෝගික සන්නාමය බවට පත්ව ඇත්තේ ඩයලොග් ආසිආටා සමාගම වෙත හිමි ඩයලොග් සන්නාමයයි. එම සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 53,978 කි. එසේම එහි 2021 බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් සන්නාම වර්ගීකරණය AAA ලෙස සටහන්ව ඇත.

2020 වසරේදීද මෙම වර්ගීකරණයේ වටිනාම පාරිභෝගික සන්නාමය බවට පත්වූයේද ඩයලොග් සන්නාමයයි. එහිදී සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 48,801ක් විය. ඒ අනුව එම වටිනාකම මේ වසරේදී 11%ක වර්ධනයක් පෙන්නුම් කර තිබේ.

2021 වසරේ වඩාත් වටිනාම පාරිභෝගික සන්නාම වර්ගීකරණයේ දෙවැනි ස්ථානයේ පවතින්නේ ලංකා බැංකුවයි. පසුගිය වසරේදීද ලංකා බැංකුව එම ස්ථානයේම පසුවිය. මෙවර ලංකා බැංකුවේ සන්නාම වටිනාකම රුපියල් මිලියන 53,905ක් බවට පත්ව ඇති අතර එය පසුගිය වසරේ එහි වටිනාකම වූ රුපියල් මිලියන 47,952ට සාපේක්ෂව 12%ක වර්ධනයකි. එසේම ලංකා බැංකුව AAA- ලෙස සන්නාම වර්ගීකරණයකට ලක්ව තිබේ.

මෙම වර්ගීකරණයේ තෙවැනි වටිනාම පාරිභෝගික සන්නාමය වන්නේ මහජන බැංකුවයි. එහි වටිනාකම රුපියල් මිලියන 44,750කි. පසුගිය වසරේදීද මෙම වර්ගීකරණයේ තෙවැනි ස්ථානය මහජන බැංකුවට හිමිව තුබිණි. එහෙත් එවරදී සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 46,161ක් විය. ඒ අනුව මෙවර එය -3%ක අඩුවීමක් පෙන්නුම් කර ඇත. එසේම මෙවර එහි වර්ගීකරණය AAA- ලෙස සටහන්ව ඇත.

මෙම වර්ගීකරණයේ සිව්වැනි වටිනාම පාරිභෝගික සන්නාමය වන්නේ කොමර්ෂල් බැංකුවයි. 2021 වසරේ එහි සන්නාම වටිනාකම රුපියල් මිලියන 43,657 කි. එම වටිනාකම 2020 වසරේදී 44,009 ක් ලෙස සටහන් වූ අතර මේ වසරේදී එය -1%ක අඩුවීමකි. එසේම සන්නාමයේ වර්ගීකරණය AAA- ලෙස සටහන්ව තිබේ.

මෙවර බ්‍රෑන්ඩ් ෆිනෑන්ස්හි වඩාත් වටිනාම පාරිභෝගික සන්නාම වර්ගීකරණයේ පස්වැනි ස්ථානයට පත්ව ඇත්තේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවයි. එහිදී පසුගිය වසරේ බැංකුව සිටි 6 වැනි ස්ථානයෙන් එක් ස්ථානයක් ඉදිරියට ඒමට සමත්ව ඇත. ඒ අනුව මේ වසරේ එම බැංකුවෙහි සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 30,727කි. එය 2020 දී එම සන්නාමයේ වටිනාකම වූ රුපියල් මිලියන 28,122ට සාපේක්ෂව 9%ක ඉහළ යාමකි. මෙවර එම සන්නාමය AA වර්ගීකරණය හිමි කර ගෙන ඇත.

මෙවර වර්ගීකරණයේ හයවැනි ස්ථානයේ පසුවන සන්නාමය වන්නේ සම්පත් බැංකුවයි. එහිදී එය පසුගිය වසරේ සිටි 5 වැනි ස්ථානයෙන් එක් ස්ථානයක් පහළට වැටී තිබේ. මේ වසරේ සම්පත් බැංකු සන්නාමයේ වටිනම රුපියල් මිලියන 24,295ක් වන අතර, පසුගිය වසරේදී එය රුපියල් මිලියන 28,645ක් විය. ඒ අනුව එය -15%ක වෙනසකි. එසේම මෙවර සම්පත් බැංකුවෙහි වර්ගීකරණය AA+ලෙස සටහන්ව ඇත.

මෙවර වටිනාම සන්නාම වර්ගීකරණයේ හත්වැනි ස්ථානයේ පසුවන්නේ කීල්ස් සුපිරි වෙළෙඳ සැල් ජාලයයි. එය පසුගිය වසරේ පිහිටි 10 වැනි ස්ථානයේ සිට ස්ථාන තුනක් ඉදිරියට ඒමට සමත්ව ඇත. ඒ අනුව මෙවර එම සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 23,859කි. පසුගිය වසරේදී එය 18,490ක්වූ අතර 29% ක වර්ධනයක් පෙන්වා තිබේ. එසේම මෙවර එම සන්නාමය AAA- ලෙස වර්ගීකරණයට පත්ව තිබේ.

මෙවර වර්ගීකරණයේ අටවැනි ස්ථානය හිමි කරගෙන ඇත්තේ හැටන් නැෂනල් බැංකුවයි. එම සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 23,106කි. එහෙත් පසුගිය වසරේදී රුපියල් මිලියන 23,149ක වටිනාකමක් වර්තා කරමින් හැටන් නැෂනල් බැංකුව 7 වැනි ස්ථානයේ පසුවිය. එසේම මෙවර එම සන්නාමය සඳහා AA වර්ගීකරණය හිමි වී තිබේ.

මෙවර වර්ගීකරණයේ නව වැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රීලංකා ටෙලිකොම්-මොබිටෙල් සන්නාමයයි. එම සන්නාමය මෙම වර්ගීකරණය සඳහා පත් වූ පළමු අවස්ථාවද මෙයයි. මෙවර එම සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 22,302 ක් ලෙස සටහන්ව ඇත. එසේම මෙවර එම සන්නාමය AA ලෙස වර්ගීකරණයට ලක් කර තිබේ.

මෙවර ප්‍රකාශයට පත් කෙරුණු බ්‍රෑන්ඩ් ෆිනෑන්ස් වඩාත් වටිනාම පාරිභෝගික සන්නාම වර්ගීකරණයේ 10වැනි ස්ථානය හිමිව ඇත්තේ කාර්ගිල්ස් ෆුඩ්සිටි සන්නාමයටයි. එම සන්නාමයේ වටිනාකම රුපියල් මිලියන 20‍,814 කි. පසුගිය වසරේදී රුපියල් මිලියන 17,285ක වටිනාකමක් හිමි කරගමිනින් එම සන්නාමය 11 වැනි ස්ථානයේ පසුවි. ඒ අනුව මේ වසරේදී සන්නාමයේ වටිනාකම 20%කින් ඉහළ ගොස් තිබේ. එසේම මේ වසරේදී එහි වර්ගීකරණය AA+ ලෙස සටහන්ව ඇත.

Views: 437