මහ බැංකුවේ ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය එලෙසින්ම

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට තීරණය කළ බව මහ බැංකුව පවසයි.

ඒ අනුව මෙම නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය අනුපාතයන් පිළිවෙලින් 4.50%ක් සහ 5.50%ක් ලෙස දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යන බව මහ බැංකුව පවසයි.

ඊයේ (මැයි 19දා) පැවැති ශ්‍රී ලංකා මහබැංකුවෙහි මුදල් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ. මේ බව දැනුම් දෙන ශ්‍රී ලංකා මහ බැංකු මුදල් ප්‍රතිපත්ති විවරණය අද (මැයි 20) පෙරවරු 11ට අන්තර්ජාල Zoom මාධ්‍ය ඔස්සේ පැවැත්වීමට නියමිතව තිබේ.

 “දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සහ, අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළැඹුණි. එසේම අඩු උද්ධමන පරිසරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන්ද අවධානයයොමු කර තිබේ.” යනුවෙන් මහ බැංකුව මෙහිදී සඳහන් කරයි.

එසේම රටතුළ ව්‍යාප්තව පවතින කොවිඩ්-19 වසංගතයේ තෙවැනි රැල්ල හේතුවෙන් අලුත් වී තිබෙන අභියෝග සලකා බලමින් රටෙහි ආර්ථිකය තිරසාරව පවත්වාගෙන යාමට අවහ්‍ය සහයෝගය ලබා දීමේ අදහසින් දැනට ක්‍රියාත්මක මෙම ලිහිල් මූදල් ප්‍රතිපත්තිය එලෙසින්ම පවත්වාගෙන යාමට තීරණය කළ බවත් මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

විශේෂයෙන්ම කොවිඩ්-19 දෙවැනි රැල්ලෙන් අනතුරුව යථාවත් වෙමින් තිබූ මෙරට ආර්ථිකය වෙත මෙම තෙවැනි රැල්ලෙන් බාධා එල්ල වී ඇතැයිද මහ බැංකුව සඳහන් කරයි.

Visits: 166