හේකාර්බ් සහ ඩිප්ඩ් පිළිබඳ වූ බලාපොරොත්තු කඩවීම දර්ශක අගයන් පහළ දමයි

අද (මැයි 19) කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු ආරම්භයේදීම හේලීස් සමූහයට අයත් ප්‍රධානතම සමාගම් දෙකක් වන හේකාර්බ් පීඑල්සී සහ ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී යන සමාගම් තුළ බලාපොරොත්තු වූ කාර්යසාධනයට වඩා අඩු තත්ත්වයන් වාර්තා කිරීමත් සමගින්ම ආයෝජකයන් තුළ ලාභ ඉපැයීමේ සහ කලබලකාරී කොටස් අලෙවියක් දැකගත හැකි වූ බව කොටස් තැරැව්කාර සමාගම් සඳහන් කරයි.

එසේම රට තුළ ඉහළ යන කොවිඩ්-19 ආසාදිතයන් සහ කොළඹ වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳ විවාදයද ආයෝජකයන්ගේ විශ්වාසය යම්තරමකින් හෝ අඩු කිරීමට හේතුව වී තිබේ. එහෙත් දිනයේ අවසන් භාගයේදී නිෂ්පාදන අංශය සහ බැංකු කෙරෙහි පැවැති කොටස් මිලදී ගැනීමේ උනන්දුව යම් පමණකින් ඉහළ ගිය බවද එම සමාගම් සඳහන් කරයි.  

ඒ අනුව අද දිනයේදී ඒකක 7,309.13ත් ඒකක 7,373.92ත් අතර අගයක විචලනයක් පෙන්වූ සියලු කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 7,341.03ක් බවට පත්විය. එය ඊයේ (මැයි 18දා) දිනයට සාපේක්ෂව ඒකක 14.11ක් එනම් -0.19%ක පහළ යාමක් පෙන්නුම් කර ඇත.

අද දිනයේදී පෙර සිදු කළ සාකච්ඡාවකට අනුව යුනියන් බැංකුව සහ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී තුළ සිදු වූ ගනුදෙනු සමස්ත පිරිවැටුමෙන් 4.6%ක් සඳහා දායකත්වයක් ලබා දී තිබේ.

අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 76ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 92ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සියලු කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී CARS (+2.23), එල්බී ෆිනෑන්ස් පීඑල්සී LFIN (+2.13), ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී SLTL (+1.64), එස්එම්බී ලීසිං පීඑල්සී SEMB (+1.62), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී NIFL (+1.62), හේකාර්බ් පීඑල්සී HAYC (-4.48), සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී CTC (-4.25), බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී BIL (-3.26), හේලීස් පීඑල්සී HAYL (-2.55), ලයන් බෘවරි සිලෝන් පීඑල්සී LION (-1.81) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 2,953.68ක අගයක් ගත් අතර, එය ඊයේ (18දා) ‍ට සාපේක්ෂව ඒකක 2.36 ක එනම් -0.08%ක පහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.32ක් ලෙස සටහන්ව තිබූ අතර, එය ඊයේ (18දා) වාර්තා කළ රුපියල් බිලියන 2.67ට සාපේක්ෂව 13% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවි කරන්නන් පිරිසක් බවට පත්ව තිබේ.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.24ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 9.41%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 26.51ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 90.39ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලා යෑම්හි වටිනාකම රුපියල් මිලියන 63.88කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 24.50ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.15 කි. එසේම හේකාර්බ් පීඑල්සී විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 24.04ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 636ක් සඳහා නිෂ්පාදන අමුද්‍රව්‍ය අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 27% ක අගයක් ගෙන තිබේ. එසේම ආහාර, පානවර්ග සහ දුම්කොළ අංශය සහ ප්‍රාග්ධන භාණ්ඩ අංශය දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 507ක සහ රුපියල් මිලියන 471ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Visits: 769