මේ වසරේදී තවත් මූලික මහජන කොටස් නිකුතු 15ක් සූදානමින්ලු?

කොළඹ කොටස් හුවමාරුව සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ මූලිකත්වය අනුව 2021 වසර තුළ තවත් සමාගම් 15ක් කොළඹ කොටස් හුවමාරුව තුළසිය මූලික මහජන කොටස් නිකුතු (IPO) සිදු කිරීමට සූදානමින් සිටින බව වාර්තා වෙයි.

පසුගිය සතියේදී පළ වූ සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත අදහස් දැක් වූ මෙරට ප්‍රාග්ධන වෙළෙඳ පොළ නිලධාරියෙකු එම කරුණු පිළිබඳව අනාවරණය කර තිබේ. වසර තුළ මේ දක්වා සිදු කර ඇති මූලික මහජන කොටස් නිකුතු තුනෙහි සාර්ථකත්වය අනුව ඉදිරියේදී මෙම නිකුතූන් සිදු කිරීමට එම සමාගම් බලාපොරොත්තුව සිටියි.

විශේෂයෙන්ම මේ වසරේ පළමු මූලික මහජන කොටස් නිකුතුව ලෙස වින්ඩ්ෆෝර්ස් ලිමිටඩ් සමාගම පසුගිය අප්‍රේල් මාසයේදී සිදු කළ නිකුතුව වෙත පළමු දිනයේදීම රුපියල් මිලියන 531ක් පමණ වටිනා විදේශ ආයෝජන ප්‍රමාණයක් ආකර්ෂණය කරගැනීමට හැකි විය.

එසේම දෙවැනියට සිදු කෙරුණු ක්‍රිස්වර්ල්ඩ් ලිමිටඩ්හි මූලික මහජන කොටස් නිකුතුවේ පළමු දිනයේදීම අධි ඉල්ලුමකින් නිමාවටපත් වූ අතර සමාගම වෙත රුපියල් මිලියන 56.25ක මුදලක් රැස් කරගැනීමට හැකිවිය.

මීට අමතරව පසුගිය මැයි 11 වැනිදා සිදු වූ ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් ලිමිටඩ්හි මූලික මහජන කොටස් නිකුතුවේදී අදියර දෙකක් යටතේ කොටස් මිලියන 187.5ක් සඳහා අධිඉල්ලුමක් හිමි වූ අතර, එහිදී කොටසක් රුපියල් 10.40 බැගින් මිල නිමය කෙරී තිබුණි.

ඒ අනුව ඉදිරියේදී මෙරට මුල් පෙළේ පවුල්හිමිකාරීත්වය සහිත සමාගම් ඇතුළුව තවත් සමාගම් කිහිපයක්ම සිය ප්‍රාග්ධනය රැස් කරගැනීම සඳහා මෙලෙස මූලික මහජන කොටස් නිකුතු සිදු කිරීමට සූදානමින් සිටින බවත් පුවත්පත පවසා සිටියි.

Views: 605