දර්ශක අගයන් ඉහළ ගියත් පිට පිට තෙවැනි දිනටත් පිරිවැටුම පහළට

අද (පෙබරවාරි 05) දිනයේ ගනුදෙනු පෙර දිනවලට සාපේක්ෂව වඩා යහපත් තත්ත්වයෙන් පැවැති බව කොටස් තැරැව්කාර සමාගම් පවසයි. එහෙත් ආයෝජකයන් තුළ තවදුරත් කල්පනාකාරී ආයෝජන තීරණ ගැනීම් දැකගත හැකි වූ බවත් එම සමාගම් සඳහන් කරයි. එහිදී දිනයේ ගනුදෙනු අවසානයේදී දර්ශක අගයන් පෙර දිනයට සාපේක්ෂව ඉහළ ගියද දිනයේ පිරිවැටුම පිට පිට තෙවැනි දිනටත් පහළ යාමේ අවස්ථාවක් වාර්තා වීම කැපී පෙනෙයි. විශේෂයෙන්ම දිනයේ දෙවැනි අර්ධයේදී ආයෝජකයන් තුළ පෙන්නුම් කළ ඉහළ ගැනුම්බරතාව මේ සඳහා හේතු වූ බවද තැරැව්කාර සමාගම් පවසයි.


ඒ අනුව අද දිනයේදී ඒකක 8,243.01ත් ඒකක 8,361.40 ත් අතර අගයක විචලනයක් පෙන්වූ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය නිමා වනවිට ඒකක 8,275.37 ක් බවට පත්විය. එය පෙරේදා (පෙබරවාරි 03) දිනයට සාපේක්ෂව ඒකක 30.87 ක් එනම් +0.37%ක ඉහළ යාමක් පෙන්නුම් කර ඇත.

පෙර සිදුකළ සාකච්ඡාවකට අනුව සිදු වූ සම්පත් බැංකුව සහ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී ගනුදෙනු දිනයේ පිරිවැටුම සඳහා 7%ක දායකත්වයක් ලබා දී ඇත.

එසේම අද දිනයේ සිදු වූ සමස්ත ගනුදෙනු අතර සමාගම් 113ක මිල ගණන් ඉහළ ගිය අතර, සමාගම් 80ක මිල ගණන් පහළ ගොස් තිබේ.

මෙහිදී සමස්ත කොටස් මිල දර්ශකයේ විචලනය සඳහා වැඩිම දායකත්වය සැපයූ සමාගම් වූයේ එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී EXPO (+19.68), හේකාර්බ් පීඑල්සී HAYC (+10.08), හේලීස් හෝල්ඩිංග්ස් පීඑල්සී HAYL (+8.11), ඩිප්ඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී DIPD (+5.79), වැලිබල් වන් පීඑල්සී VONE (+4.72), එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් පීඑල්සී LOLC (-17.39), ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී JKH (-11.32), එල්ඕඑල්සී ඩිවලොප්මන්ට් පීඑල්සී NIFL (-4.16), බ්‍රවුන්ස් ඇන්ඩ් කම්පැනි පීඑල්සී BRWN (-3.89), ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී DIST (-3.16) යනාදී සමාගම්ය.

ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ශ්‍රී ලංකා 20 දර්ශකයත් දවසේ ගනුදෙනු නිමාවේදී ඒකක 3,304.30 ක අගයක් ගත් අතර, එය පෙරේදා (පෙබරවාරි 03) දිනයට සාපේක්ෂව ඒකක 10.85 ක එනම් +0.33%ක ඉහළ යාමක් වාර්තා කර ඇත.

මෙහිදී දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 5.16ක් ලෙස සටහන්ව තිබූ අතර, එය පෙරේදා (පෙබරවාරි 03දා) වාර්තා කළ රුපියල් බිලියන 6.22ට සාපේක්ෂව 17% ක පහළ යාමකි. එහිදී විදේශීය ආයෝජකයන් දිනයේ වැඩිම අලෙවිකරුවන් පිරිසක් බවට පත් විය.

ඒ අනුව මේ තත්ත්වයත් සමගම දිනයේ සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් ට්‍රිලියන 3.62ක අගයකට පත්ව ඇති අතර එය මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට අද දිනය දක්වා 22.19%ක ලාභයක් ලෙස සටහන්ව තිබේ.

මේ අතර, දිනයේ සමස්ත විදේශීය මිලදී ගැනීම්වල වටිනාකම රුපියල් මිලියන 59.67ක් ලෙස සටහන් විය. එසේම සමස්ත විදෙස් විකුණුම් රුපියල් මිලියන 694.19ක අගයක් ගෙන තිබේ.

දිනයේ දළ විදේශ ආයෝජන පිටතට ගලායෑම්හි වටිනාකම රුපියල් මිලියන 634.52කි. ඒ අනුව වසරේ ආරම්භයේ සිට මේ දක්වා සමස්ත විදේශ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් බිලියන 9.99ක් ලෙස සටහන්ව තිබේ.

මෙහිදී මිලදී ගැනීම් යටතේ වැඩිම දායකත්වය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් ලබා දී ඇති අතර, එම ආයෝජන ගලාඒම්හි වටිනාකම රුපියල් මිලියන 6.63කි. එසේම සම්පත් බැංකුව විකුණුම් යටතේ වැඩිම දායකත්වයක් ලබා දුන් අතර ඒ හරහා සිදුවූ ආයෝජන පිටතට ගලායාම්හි වටිනාකම රුපියල් මිලියන 313.91ක් ලෙස සටහන්ව ඇත.

මේ අතර දිනයේ සමස්ත පිරිවැටුමෙන් රුපියල් මිලියන 1,342ක් සඳහා ප්‍රාග්ධන භාණ්ඩ අංශය දායකත්වය ලබා දී ඇති අතර, එය ප්‍රතිශතයක් ලෙස 26% ක අගයක් ගෙන තිබේ. නිෂ්පාදන අමුද්‍රව්‍ය සහ ප්‍රවාහන අංශ දෙවැනි සහ තෙවැනි ස්ථාන බවට පත්වෙමින් පිළිවෙලින් රුපියල් මිලියන 930ක සහ රුපියල් මිලියන 872 ක දායකත්වයක් දිනයේ පිරිවැටුම සඳහා ලබා දී ඇත.

Views: 478