සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී හිමිකම් කොටස් නිකුතුවකට සැරසෙයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වන සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම හිමිකම් කොටස් නිකුතුවක් සඳහා කටයුතු යොදන බව පවසයි.

මෙරට ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් සතුව පැවතිය යුතු බවට මහ බැංකුව විසින් නිකුත් කර ඇති මූලික ප්‍රාග්ධන අවශතාවන් සපුරා ගැනීමට මෙම හිමිකම් කොටස් නිකුතුව සිදු කරන බව සමාගම සඳහන් කරයි.

පසුගිය ජනවාරි 27 වැනිදා පැවැත්වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාකච්ඡාවේදී මෙම හිමිකම් කොටස් නිකුතුව පිළිබඳව තීරණය කෙරී ඇති අතර, ශ්‍රී ලංකා මහ බැංකුව විසින්ද පසුගිය පෙබරවාරි 02 වැනිදා මෙම හිමිකම් කොටස් නිකුතුව සඳහා අනුමැතිය ලබා දී තිබේ.

ඒ අනුව දැනට නිකුත් කර ඇති සෑම ඡන්දහිමි කොටස් 14ක් සඳහාම අලුතින් එක් කොටසක්  හිමිවන ලෙස මෙම කොටස් හිමිකම් නිකුතුව සිදු කරන බව සෙංකඩගල ෆිනෑන්ස් පීඑල්සී සමාගම පවසයි. ඒ අනුව මෙහිදී නිකුත් කෙරෙන සමස්ත ඡන්ද හිමි කොටස් සංඛ්‍යාව 5,176,790කි.

මෙහිදී එක් කොටසක් රුපියල් 70 බැගින් නිකුත් කෙරෙන අතර සමාගම මගින් මේ හරහා රැස් කරගැනීමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 362 ක් (362,375,300ක්) බවද සඳහන් කරයි.

සෙංකඩගල ෆිනෑන්ස් සමාගම අනාවරණය කරන ආකාරයට අද වනවිට එම සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධය රුපියල් බිලියන 1.5 ක් (1,587,862,680 කි)

මෙම හිමිකම් කොටස් නිකුතුව සඳහා කොළඹ කොටස් හුවමාරුවෙහි අනුමැතිය හිමිවීමට නියමිතව ඇති බවත්, ඉදිරියේදී පැවැත්වෙන සමාගමේ අතිවිශේෂ මහා සභා රැස්වීමකදී ඒ සඳහා කොටස් හිමිකරුවන්ගේ අනුමැතිය හිමිවීමට නියමිතව ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසා සිටියි.

මෙරට තුළ ක්‍රියාත්මක බැංකු නොවන මූල්‍ය සමාගම් තවදුරටත් සිය මෙහෙයුම් පවත්වාගෙන යාමට නම් තමන් සතු මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම අනිවාර්යය බව මහ බැංකුව දැනුම්දී තිබේ.

ඒ අනුව එහි පළමු අදියර ලෙස ලෙස 2020 දෙසැම්බර් 31 වැනිදා වනවිට එම සමාගම් රුපියල් බිලියන 2ක ප්‍රාග්ධනයක් සපුරාගත යුතු අතර, එම සමාගම් වෙත එවැන්නක් සිදු කරගත නොහැකි වුවහොත් 2021 දෙසැම්බර් 31 වැනිදා වන විට එය රුපියල් බිලියන 2.5ක් විය යුතුය.

එහිදී අදාළ ප්‍රාග්ධන අවශ්‍යතාව සම්පූර්ණ කරගැනීමට සමාගම් ඒකාබද්ධවීමක් හෝ සමාගම් විසින් සිදු කරන මෙවැනි හිමිකම් කොටස් නිකුතු සිදු කිරීමේ අවස්ථාවක් පවතී.

Visits: 228