LOLC සමාගම CSE හි ඩොලර් බිලියනයක් වටිනා තෙවැනි සමාගම බවට පත්වෙලා

කොළඹ කොටස් හුවමාරුවෙහි එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමක් සහිත තෙවැනි සමාගම බවට LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ඊයේ (ජනවාරි 26) දිනයේ පත් වුණු බව වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසයි.

මේ සතිය තුළදී පමණක් එම සමාගමේ කොටසක වටිනාකම රුපියල් 66කින් එනම් 19%කින් ඉහළ යාමත් සමගින්ම මෙම තත්ත්වය ළගා වී තිබේ. ඊයේ දිනයේදී පමණක් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 36 කින් එනම් 9.4% කින්  ඉහළ ගොස් තිබේ.

ඒ අනුව දිනය නිමා වනවිට LOLC හෝල්ඩිංග්ස් සමාගමේ කොටසක වටිනාකම රුපියල් 417.25 ක් බවට පත්ව ඇති අතර සමාගමේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 198.3ක් (ඩොලර් බිලියනයක්) බවට පත්ව තිබේ.

වෙළෙඳ පොළ ආරංචි මාර්ග පවසන ආකාරයට වසරේ මේ දක්වා කාලය තුළදී LOLC සමාගමේ වෙළෙඳ පොළ  වටිනාකම රුපියල් බිලියන 134කින් ඉහළ ගොස් ඇත. පසුගිය සතියේදී LOLC කොටසක වටිනාකම ඉහළ යාම 55% ක් වූ අතර එහිදී කොටසක් රුපියල් 124.50 සිට 351.25 ක් දක්වා ඉහළ නැග තිබේ.

අද වනවිට කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සමාගම් අතරින් වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය ඩොලර් බිලියනය ඉක්ම වූ සමාගම් වන්නේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී සහ සිලෝන් ටොබැකෝ කම්පැනි පීඑල්සී යන සමාගම්ය. ඒවා සතු වටිනාකම පිළිවෙලින් රුපියල් බිලියන 227.8ක් සහ රුපියල් බිලියන 206.6 කි.

Views: 508