SPAR Sri Lanka සුපිරි වෙළෙඳ සැල් 20 න් 7 වැන්න අද කැලණියේදී විවෘත වෙයි

නෙදර්ලන්තය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර සුපිරි වෙළෙඳ සැල් ජාලයක් වන SPAR International හි මෙරට සමාගම වන SPAR Sri Lanka මගින් දියත් කරන අලුත්ම සුපිරි වෙළෙඳ සැල අද (ජනවාරි 27) දලුගම, කැලණියේ විවෘත වීමට නියමිතව තිබේ. අංක 30, දලුගම, නුවරපාර, කැලණිය එහි ලිපිනයයි.

ඒ අනුව, මේ වනවිට SPAR Sri Lanka මගින් මෙරට තුළ ආරම්භ කෙරෙන හත්වැනි සුපිරි වෙළෙඳ සැල බවටත් මෙය පත්වෙයි.  

2018 වසරේ මාර්තු මාසයේදී තලවතුගොඩදී SPAR පළමු සුපිරි වෙළෙඳ සැල විවෘත කෙරුණු අතර, දෙවැනි සුපිරි වෙළෙඳ සැල 2019 වසරේදී කළුබෝවිලදී විවෘත කෙරිණි. එසේම තවත් SPAR සුපිරි වෙළෙඳ සැලක් කොළඹ යුනියන් පෙදෙසේ අංක 267 යන ස්ථානයේ විවෘත වී තිබේ. මීට අමතරව පැපිලියානේ සහ මීගමුවේද SPAR සුපිරි වෙළෙඳ සැල් පිහිටුවා තිබේ.

2017 වසරේදී දකුණු අප්‍රිකාවේ පිහිටි SPAR Group Ltd. South Africa නම් සිල්ලර භාණ්ඩ අලෙවි සමාගම සහ මෙරට මන්චී බිස්කට් සන්නාමයේ නිෂ්පාදකයන් වන සිලෝන් බිස්කට් ලිමිටඩ් (CBL Group) අතර ඇති කරගත් ඒකාබද්ධ හවුල් ගිවිසුමකට අනුව මෙරට තුළ SPAR සන්නාමය සහිත සුපිරි වෙළෙඳ සැල් ජාලය ආරම්භ විය. මෙහිදී අදාළ සමාගම් දෙක අතර හවුල්කාරීත්වය 50% – 50%ක් ලෙස බෙදී ගොස් ඇත.

පසුගියදා විදේශ අමාත්‍යවරයා හමුවූ මෙරට දකුණු අප්‍රිකානු තානාපතිනිය එරට SPAR Group Ltd. South Africa නම් සිල්ලර භාණ්ඩ අලෙවි සමාගම මගින් මෙරට තුළ සුපිරි වෙළෙඳ සැල් 20ක් පිහිටුවීමට සූදානමින් සිටින බව පවසා තිබුණි.

මේ අතර, වසර 2023 වන විට ශ්‍රී ලංකාව තුළ SPAR සුපිරි වෙළෙඳ සැල් 50ක් විවෘත කිරීම SPAR Sri Lanka සමාගමේ අදහස වී තිබුණි. මෙය SPAR International සමාගම සිය මෙහෙයුම් දියත් කළ හයවැනි ආසියානු රට වන අතර ලෝකයේ 48 වැනි රටද වෙයි. අද වනවිට ලොව පුරා සුපිරි වෙළෙඳ සැල් 13,100 කට අධික සංඛ්‍යාවක් මෙම SPAR සන්නාමය යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මේ වනවිට SPAR express, SPAR, EUROSPAR, INTERSPAR යනාදී ලෙස එකිනෙකට වෙනස් වෙළෙඳ සැල් මාදිලි කිහිපයක් යටතේ ඔවුන් සිය ව්‍යාපාරය පවත්වාගෙන යයි.

මීට අමතරව එම සමාගමේ නවතම හඳුන්වාදීම වන SUPERSPAR මාදිලියේ පළමු සුපිරි වෙළෙඳ සැල පසුගිය 2020 පෙබරවාරි 13 වැනිදා ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ්කෝස්ට්හිදී විවෘත වී තිබේ.

Visits: 80