කොවිඩ්-19 එන්නත් සඳහා රජය ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණයක් අපේක්ෂාවෙන්ලු

නව කොරෝනා හෙවත් කොවිඩ්-19 වසංගතය වළකන එන්නත්කරණ වැඩසටහන රට තුළ ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කෙරෙන එන්නත් මිලදී ගැනීමට රජය ලෝක බැංකුවෙන් රුපියල් බිලියන 10ක ණය මුදලක් ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව වාර්තා වෙයි.

ඒ සඳහා වන සාකච්ඡාද මේ වනවිට ආරම්භ කර තිබෙන බව රජයේ ජ්‍යෙෂ්ට නිලධාරියෙකු පැවසූ බව මේ පුවත ගෙන එමින් අද සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබේ.

අදාළ නිලධාරියා පුවත්පත වෙත සඳහන් කර ඇති ආකාරයට රජය මෙහිදී මෘදු ණයක් ලෙස ලබා ගැනීමට අපේක්ෂාවෙන් සිටියි.

ලෝක බැංකු ණය අතරතුරදීම ආසියානු සංවර්ධන බැංකුවෙන් සහ යුරෝපා සංගමයෙන්ද මෙම එන්නත් මිලදී ගැනීම සඳහා යම් අරමුදල් සපයා ගැනීමක් සම්බන්ධ  හැකියාව පිළිබඳවද රජය අවධානය යොමු කර තිබෙන බවද මෙම නිලධාරියා පුවත්පත වෙත සඳහන් කර තිබේ.

ඒ අනුව මෙලෙස ලබා ගන්නා මුදල් මගින් රටෙහි සමස්ත ජනගහනයෙන් විශාල ප්‍රමාණයකට අවශ්‍ය  එන්නත් මිලදී ගැනීම අරමුණ වී තිබේ. මේ අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක සෞඛ්‍ය සංවිදානයේ මැදිහත්වීම යටතේ දැනටමත් මෙරට ජනගහනයෙන් 20%ක් සඳහා ප්‍රමාණවත් තරම් එන්නත් ලබා ගැනීමේ  හැකියාව ශ්‍රී ලංකාවට හිමිව ඇත.

මේ සම්බන්ධයෙන් පුවත්පත වෙත අදහස් දක්වා ඇති ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වන මහාචාර්ය චන්න ජයසුමන මහතා, එන්නත් ආනයනය කිරීම සඳහා වැය වන මුදල එම එන්නතේ වර්ගය මත පදනම් වන බවත් පවසා ඇත.

“මෙතැනදී ලෝක බැංකුව සමගින් ඇති කරගන්නා එකඟතාවට පටහැනිව, රජය දැනටමත් මෙම එන්නත් මිලදී ගැනීම සඳහා වන ප්‍රදාන සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් සිටිනවා.” යනුවෙන් මහාචාර්ය ජයසුමන පවසා ඇත.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති මහාචාර්ය ජයසුමන, එන්නත සඳහා වඩා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීමට හේතු වී ඇත්තේ එම එන්නත් ගබඩා කර තැබිය යුතු අවම උෂ්ණත්වයක් රඳවා ගැනීමට අවශ්‍ය අධිශීතකරණ පහසුකම්වල අවශ්‍යතාව බවද පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මෙලෙස ලබා ගන්නා එන්නත් ලබා දීමේ මූලිකත්වය ඉදිරිපෙළ සේවයේ නිරත සෞඛ්‍ය සේවකයන් වෙත ලබා දීම රජයේ සැලසුමයි. එසේම මෙම එන්නත ලබා දිය යුතු ප්‍රමුඛතා කණ්ඩායම් කවුරුන්ද ය න්න  හඳුනාගැනීම සඳහා විශේෂඥ කමිටුවක් මගින් සැලසුමක් සකස් කරන බවත් රජය පවසයි.

මේ අතර ජ්‍යෙෂ්ට සෞඛ්‍ය නිලධාරියෙකුද පුවත්පත වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකාව මෙම එන්නත සඳහා ඉක්මනින් ලබා දෙන ඇනවුම අනුව අදාළ එන්නත් රට වෙතට ගෙන්වා ගැනීමේ හැකියාව ඉක්මන් වෙනු ඇතැයිද වැඩිදුරටත් පවසා තිබේ.

වෛරසවිද්‍යාව පිළිබඳ විශේෂඥයන්ට අනුව මෙවැනි වසංගත අවස්ථාවකදී එවැනි තත්ත්වයක් පිටුදැකීම සඳහා ප්‍රජාප්‍රතිශක්තිකරණයක් ලැබිය යුතුව ඇත. ප්‍රජාප්‍රතිශක්තිකරණයක් යනු ජනගහනයෙන් 70%කට වැඩි පිරිසකටද එම වසංගතයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් පැවතීමයි.

ශ්‍රී ලංකාවේ මිලියන 20ක් වන ජනගහනෙයන් 70%ක් යනු මිලියන 14 කි. මෙම කොවිඩ්-19 එන්නත් නිෂ්පූපාදන සමාගම්වලට අනුව පූර්ණ ප්‍රතිශක්තිකරණයක් සඳහා එක් පුද්ගලයෙකු දින 21ක පරතරයකදී එන්නත් මාත්‍රා දෙකක් ලබා ගත යුතුය. ඒ අනුව මෙරටට අවශ්‍ය වන එන්නත් ප්‍රමාණය මිලියන 28 කට අධික වෙයි.

Views: 103