සංචාරක ඇමති ප්‍රසන්නටත් ලෝක වෙළඳ මධ්‍යස්ථානය එපා වෙයි

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි සංචාරක අමාත්‍ය කාර්යාලයෙන් ඉවත් වීමට සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා තීරණය කර තිබෙන බව එම අමාත්‍යාංශය පවසයි. ඒ අනුව ලබන වසරේ මුල් කාර්තුවේ සිට සිය කාර්යාලය සංචාරක අමාත්‍යංශය අලුතින් පිහිට වූ ඇසෙට් ආකේඩ් ගොඩනැගිල්ලටම ගෙන යන බව අමාත්‍යවරයා පවසා තිබේ.

මේ වනවිට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ බටහිර කුලුනේ 25 වන මහලේ සංචාරක අමාත්‍ය කාර්යාලය පිහිටා තිබේ. මේ සඳහා විශාල මුදලක් වැයවීම හා ජනතාවගේ පහසුව සලකා මෙම තීරණයට එළඹි බව ඇමතිවරයා සඳහන් කරයි.

මෙතෙක් රක්ෂණ මන්දිරයේ පිහිටි සංචාරක අමාත්‍යංශය පසුගිය බදාදා (16) සිට කොළඹ 01, යෝර්ක් වීදිය 51-ඊ පිහිටි ඇසෙට් ගොඩනැගිල්ලේ දෙවන මහලට ගෙන යාම සිදුවිය. මෙලෙස අමාත්‍යංශය එක තැනකත් අමාත්‍ය කාර්යාලය තවත් තැනකත් පැවතීම නිසා ජනතාවට දුෂ්කරතාවයන්ට පත්වීමට සිදුවන බව අමාත්‍යවරයා පවසයි.

ආගමික වතාවත් මධ්‍යයේ පැවැත්වුණු මෙම අවස්ථාවේදී සංචාරක අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ද අමතා ඇති අමාත්‍යවරයා ජනතාවාදී අමාත්‍යංශයක් ලෙස සංචාරක අමාත්‍යංශය ජනතාව අතරට ගෙනයාමත් හොඳම අමාත්‍යංශ වලින් එකක් ලෙස සංචාරක අමාත්‍යංශය ඉහලට ගෙන ඒමත් සිය අපේක්ෂාව බව පවසා තිබේ.

අමාත්‍යංශය පිහිටි ස්ථානයේම විෂයභාර ඇමතිවරයා සිටීම ජනතා සේවය වඩාත් කාර්යක්ෂම ඉටුකිරීමට හේතුවන බැවින් එම ස්ථානයේම සිය කාර්යාලය පිහිටුවීමට තීරණය කල බව ද ඔහු සඳහන් කලේය.කඩිනමින් එම ස්ථානයට සිය කාර්යාලය ගෙනයාමට අවශ්‍ය වුවද ඉඩකඩ පිළිබඳ ප්‍රශ්නයක් නිසා තව මාස කීපයක් ඒ සඳහා ගතවිය හැකි බවද ඔහු  වැඩිදුරටත් සඳහන් කර ඇත.

Visits: 125